Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th February 2020 06:42:58 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය සහ යුද්ධ හමුදා අරමුදල එක්ව විරෝදාර රණවිරුවන්ගේ පවුල්වල සිසු සිසුවියන්ට ශිෂ්‍යත්ව පිරිනමයි

රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්, ආබාධිත රණවිරුවන් මෙන්ම සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහ සිවිල් සේවකයින්ගේ පවුල්වල සිසු සිසුවියන් සඳහා සුජීවා නෙල්සන් මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය සිදුකරනු ලබන සුභසාධන කටයුතු තවදුරටත් පුළුල් කරමින් අධ්‍යාපනය හදාරනු ලබන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අ.පොස. සා/පෙළ විභාගය සහ අ.පොස. උ/පෙළ විභාගය ඉහළින් සමත් සිසු සිසුවියන් දිරිගන්වමින් රුපියල් මිලියන 3.5 කට වඩා වටිනාකමින් යුත් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයක් බදාදා (26) දින සන්ධ්‍යාවේ කොළඹ 2 පිහිටි ආරක්‍ෂක සේවා විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චිත්‍රානි ගුණරත්න මැතිණිය සහභාගි වූ අතර සම්භාවනීය ආරාධිත අමුත්තා ලෙස වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය.

මෙම අවස්ථාවට සපැමිණි ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චිත්‍රානි ගුණරත්න මැතිණිය සහ වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජිවා නෙල්සන් මැතිණිය සමගින් ආරක්‍ෂක සේවා විද්‍යාලයේ දියණියක් සහ පුතෙකු විසින් බුලත් හුරුල්ලක් දී උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා සංස්කෘතික කණ්ඩායම පෙරටුකරගත් වර්ණවත් පෙරහැරකින් ශ්‍රවණාගාරය වෙත කැටුව යන ලදී.

මෙම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේදී අ.පො.ස උ/පෙළ විභාගය (2019) සහ අ.පො.ස සා/පෙළ විභාගය (2018) ඉහළින් සමත් සිසු සිසුවියන් 106 දෙනෙකු සහ රෙජිමේන්තු මට්ටමින් තෝරාගත් සිසු සිසුවියන් 56 දෙනෙකුට උසස් අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දිරිගැන්වීමක් ලෙස වසරක කාලයක් රුපියල් 1500/= බැගින් වූ ශිෂ්‍යත්ව පිරිනමන ලදී.

මීට අමතරව, 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 179 කට වඩා ලබාගත් සිසු සිසුන් 45 දෙනෙකුට රුපියල් 15,000/= බැගින් ශිෂ්‍යත්ව පිරිනැමු අතර අ.පො.ස. සා/පෙළ විභාගයේදී ‘A’ සාමාර්ථ 9 බැගින් ලබාගත් සිසු සිසුන් 33 දෙනෙකුට රුපියල් 20,000/= බැගින් ශිෂ්‍යත්ව පිරිනමන ලදී. එමෙන්ම, අ.පො.ස උ/පෙළ විභාගයෙන් ඉහළම ‘Z’ ස්කෝර් ලබාගෙන විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීම සඳහා සුදුසුකම් ලැබූ සිසු සිසුවියන් 28 දෙනෙකුට රුපියල් 25,000/= බැගින් ශිෂ්‍යත්ව පිරිනමන ලදී.

මෙම දැවැන්ත ව්‍යාපෘතියේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් මෙහෙයවනු ලබන ප්‍රජා අරමුදල් රැස්කිරීමේ ව්‍යාපෘති සහ යුද්ධ හමුදාධිපති අරමුදල හරහා විශේෂ මූල්‍ය ප්‍රතිපාදනයක් එකතු කිරීමෙන් පසුව, සියලුම සිසු සිසුවියන්ට එම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට හැකි විය. ප්‍රදානය කළ ශිෂ්‍යත්ව වල මුළු වටිනාකම රුපියල් මිලියන 3.5 ඉක්මවා ඇති අතර සුජිවා නෙල්සන් මහත්මියගේ පෞද්ගලික දායකත්වයෙන් එකම අවස්ථාවක ශිෂ්‍යත්ව දෙකක් පිරිනමන ලදී.

එලෙසම, ශිෂ්‍යත්වලාභි සිසු සිසුවියන්ගේ දෙමව්පියන් රට වෙනුවෙන් කළ උදාර කැපකිරීම් අගය කරමින් දානපතියන් දෙදෙනෙකු වන ශ්‍රීරානි ජේන් මහත්මිය සහ ආනන්දගොඩ යන මහත්වරුන් විසින් මසකට රුපියල් 1500/= බැගින් වටිනාකමක් ඇති ශිෂ්‍යත්ව 3 ක් වසරක කාලයක් දක්වා පිරිනැමීම සඳහා අනුග්‍රහය දැක්වූහ.

මෙම ශිෂ්‍යත්වලාභීන්ට මූල්‍ය ප්‍රතිපාදනවලට අමතරව පාසල් බෑග්, පොත් කට්ටල, තොප්පි, ශබ්ද කෝෂ ඇතුළු පාසල් උපකරණ තොගයක් යුනියන් පෙදෙසේ පිහිටි මහජන බැංකුව සහ ආචාර්ය ආනන්ද කුමාරසිරි එක්ව ප්‍රදානය කරන ලදී.

ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ගුණරත්න මැතිණිය, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සුජීවා නෙල්සන් මැතිණිය ඇතුළු තවත් කිහිපදෙනෙකු එම ශිෂ්‍යත්ව ප්‍රතිලාභීන්ට ලබාදුන්හ.

මෙම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට රෙජිමේන්තු සේවා වනිතා ඒකකවල සභාපතිවරුන්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ආරක්‍ෂක සේවා විද්‍යාලයේ විදුහල්පති, ගුරුවරුන්, සිවිල් සේවකයින්, සිසු සිසුවියන්ගේ පවුල්වල සාමාජිකයින්, දෙමාපියන් සහ ආරාධිත අමුත්තන් විශාල පිරිසක් සහභාගි  වූහ. ශිෂ්‍යත්වලාභියෙකු වන ආරක්‍ෂක සේවා විද්‍යාලයේ දියණියක විසින් ස්තූති කථාව සිදු කළ අතර ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව උත්සවය නිමාවට පත්විය. Adidas shoes | Jordan Ανδρικά • Summer SALE έως -50%