Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th October 2019 06:55:19 Hours

මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදූ ශ්‍රී ලංකා පාබල හමුදාවේ විරෝදාර රණවිරුවන් සිහිපත් කෙරේ

මාතෘභූමියේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් තම දිවි පුදා උදාර කැපකිරීම් සිදු කළ ශ්‍රී ලංකා පාබල හමුදාවේ විරෝදාර රණවිරුවන් 3878 දෙනෙකුගේ අමරණීය මතකයන් සිහිපත් කරමින් ඔවුනට උපහාරයක් වශයෙන් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් වර්ණවත් හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයක් පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී ඉකුත් සිකුරාදා (25) දින පැවැත්විණි. ‘මම සේවය කරමි’ ආදර්ශ පාඨය කරගත් ශ්‍රී ලංකා පාබල හමුදාව වර්ෂ 1881 දී ආරම්භ කෙරුණු අතර එම රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පැරණිතම හා වඩාත් පිළිගැනීමට ලක් වූ ගෞරවාන්විත රෙජිමේන්තුවක් ද වෙයි.

මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුන්ගේ ඥාතීන් සහ ආරාධිතයින් රැසකගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි සුවිශේෂී අලංකාරවත් අන්දමින් නිර්මාණය කරන ලද රණවිරු ස්මාරකය අභියසදී ගෞරවණීය රණවිරු සැමරුම් උත්සවය ආරම්භ කෙරිණි. බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මෙන්ම ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ විසින් කරන ලද ආරාධනයකට අනුව ශ්‍රී ලංකා පාබල හමුදාවේ කීර්තිමත් නිලධාරීයෙකු වන ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙම ගෞරවණීය සැමරුම් උත්සවයට සහභාගි වූහ.

මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා සහ යුද්ධ හමුදාධිපතිතුමන් හමුදා සම්ප්‍රදායානුකූලව භටපිරිස් විසින් පිරිනමනු ලැබූ කඳවුරු සම්මාන මුරය පසුකරගෙන යනු ලැබීය. අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ සහ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් අනුර දිසානායක විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා සහ යුද්ධ හමුදාධිපතිතුමන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ජාතික ගීය, යුද්ධ හමුදා ගීතය සහ රෙජිමේන්තු ගීතය ගායනා කරමින් උත්සව කටයුතු ආරම්භ කළ අතර ශ්‍රී ලංකා පාබල හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් පිළිගැනීමේ දේශනය සිදුකරමින් දවසේ වැදගත්කම පිළිබඳ කරුණු අවධාරණය කළේය. ඉන් අනතුරුව, මාතෘභූමිය වෙනුවෙන් උත්තරීතර කැපකිරීම් සිදුකළ විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්‍ෂා කරන ලදී.

මෙහිදී, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක විසින් දිවිපිදු විරෝදාර රණවිරුවන් වෙනුවෙන් දිවුරුම් ප්‍රකාශය කියවිමෙන් අනතුරුව එදින ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට මෙම අවස්ථාව ආමන්ත්‍රණය කිරීම සඳහා අවස්ථාව ලබාදුන්හ. යුද්ධ හමුදාධිපතිතුමන් සිය දේශනය සිදුකරමින් මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්ට උපහාර දක්වමින් රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර පුද කිරීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තාට ආරාධනා කරන ලදී.

ක්‍රමයෙන් අඳුර වැටිමත් සමඟ හිරු නැගෙනා මොහොතේදිත් හිරු බසිනා මොහොතේදිත් දිවිපිදු විරෝදාර රණවිරුවන් වෙනුවෙන් හමුදා සම්ප්‍රදායානුකුලව වැයෙන යුද්ධ හමුදා තුර්යවාදක බියුගල් නලාකරුවන්ගේ අවර රණවිරු අනුස්මරණ බියුගල් නාදය ගුවනට මුසුවීමත් සමඟ මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ සහ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර පුද කරන ලදී.

ඉන් අනතුරුව, දිවිපිදු විරෝදාර රණවිරුවන්ගේ දෙමාපියන්, දු දරුවන් සහ ඥාතීන් රණවිරු සැමරුම් උත්සව අවසානයේ රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර පුද කරමින් එම රණවිරුවන්ගේ මතකයන් සිහිපත් කළහ.

ඉන් පසුව, එම පරිශ්‍රයේ සර්ව රාත්‍රික ‘පිරිත්’ සජ්ඣායනාවක් පැවැත්වූ අතර පසුදින උදෑසන මහා සංඝරත්නය විෂයෙහිලා හීල් දානය පිළිගැන්වීමත් සමඟ එම රණවිරු සැමරුම් උත්සව කටයුතු අවසන් විය. affiliate tracking url | Nike Shoes