Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th October 2019 14:06:00 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් දරුවන් දෙදෙනෙකු සිටින මවකට අංගසම්පුර්ණ නිවසක් ඉදිකරදෙයි

ඉනාමළුව රොටරි ග්‍රාමයෙහි පදිංචි දරුවන් දෙදෙනෙකු සිටින අසරණ මවක් වෙනුවෙන් යුද්ධ හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකරනු ලැබූ ‘සිහින’ නිවස අද (13) දින උදෑසන මෙම ව්‍යාපෘතියේ පුරෝගාමීයා වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් නිවාසලාභි දමයන්ති කුමාරි මහත්මිය වෙත නිල වශයෙන් භාරදෙන ලදී. එම අවස්ථාවේදී නිවාසලාභී දමයන්ති කුමාරි මහත්මිය අදහස් දක්වමින් “මටත් මගේ අසරණ වූ දරුවන් දෙදෙනාටත් තිබූ සිහිනයක් සැබෑ වී තිබේ. අප වටා තවමත් හොඳ යහපත් සමාජයක් තිබෙන බව මට තවමත් විශ්වාස කළ නොහැකිය. රණවිරුවන්ට අප සදහටම ණයගැති වන්නේ ඔවුන් රටේ එකම බලාපොරොත්තුව ලෙස අපේ රට ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් නිසා පමණක් නොව අසරණ බොහෝ අයට විශාල සේවයක් කරන නිසාත්ය. රට ත්‍රස්තවාදයෙන් නිදහස් වූ පසු ජීවත්වන ‘දෙවිවරුන්’ ලෙස අපට රැකවරණය ලබාදීමට ඔබ ගත් මානුෂීය මුලපිරීම සදහටම සිහිපත් වන අතර, ඒ නිසා මම සතුටු කඳුළු සලමි.” යනුවෙන් පැවසීය.

පියා නොමැති මෙම අසරණ පවුලට නව නිවසක් ඉදිකිරීමේ හැකියාව පිළිබඳ සොයාබැලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරි, 53 වන සේනාංකයේ එවකට සේනාංකාධිපති ලෙස රාජකාරී කල වත්මන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත යොමු විය. එහිදී, එම අභියෝගය ඉතා පහසුවෙන් භාරගත් වත්මන් යුද්ධ හමුදාධිපතිතුමන් ඔහුගේ මිතුරන්, හිතවතුන් සහ දානපතියන්ගේ සහයෝගය ඇතිව නිවසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදී. එවකට සේනාංකාධිපති ධූරයෙන් මිදී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙසත් පසුව මෙම වසරේ අගෝස්තු මස සිට වත්මන් යුද්ධ හමුදාධිපති ලෙසත් උසස්වීම් ලැබූවද හිටපු සේනාංකාධිපති මෙන්ම මෙම ව්‍යාපෘතියේ පුරෝගාමීයා ලෙස ව්‍යාපෘතිය අඛණ්ඩව සිදුකිරීමට අවශ්‍ය සහයෝගය යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ලබාදුන්හ.

ඉරිදා (13) දිනට යෙදුණු පූජනීය ‘වප්’ පොහෝ දින මෙම ව්‍යාපෘතියේ පුරෝගාමීයා වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙම නිවස භාරදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉනාමළුව ප්‍රදේශයට පැමිණි අතර එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් වයස අවුරුදු 15 ට අඩු දරුවන් දෙදෙනෙකු සිටින වැන්දඹු මවක් වන නිවාසලාභී දමයන්ති කුමාරි මහත්මිය වෙත චාරිත්‍රානුකූලව නව නිවස භාරදුන්හ.

මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ නව නිවසේ සමරුඵලකය නිරාවරණය කර පීත්ත පටිය කපා නිවාසලාභීන්ට නිවසේ යතුර භාරදීමෙන් එය විවෘත කරන ලදී. ඉන් අනතුරුව, නව නිවස විවෘත කිරීම සංකේතවත් කරමින් චාරිත්‍ර හා වාරිත්‍ර නිවස තුළ සිදුකෙරිණි.

53 වන සේනාංකය යටතේ ස්ථාපිත ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් සහ එම සේනාංකය යටතේ සේවයේ නියුතු කණ්ඩායමකගේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකරන ලද මෙම නව නිවස ගෘහ භාණ්ඩ හා අනෙකුත් මුළුතැන්ගෙයි උපාංගවලින් සමන්විතව ඉදිකර නිම කිරීම සඳහා රුපියල් මිලියන 7 ක් පමණ වැය විය.

53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජයන්ත ගමගේ සමඟින් ඉනාමළුව රොටරි ග්‍රාමයේ පදිංචි නිවාසලාභි පවුලේ සාමාජිකයින් සහ නව නිවස ඉදිකළ නිලධාරීන් සහ සෙසුනිලයින් විසින් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. දානපතියන්ගේ මූල්‍යධාර සහ අමුද්‍රව්‍ය යොදාගනිමින් 2018 ඔක්තෝබර් 14 වන දින මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ අතර යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත වත්මන් විධායක ජෙනරාල් මෙන්ම එවකට 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලි ගේ අධීක්‍ෂණය යටතේ නව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා පරිත්‍යාගශීලින්, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලි, 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජයන්ත ගමගේ, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වූහ. trace affiliate link | Nike News