Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th September 2019 21:47:25 Hours

විදේශ ලේකම් ශ්‍රී ලංකාවේ සාමසාධක භටපිරිස් පිළිබඳ තම ස්ථාවර පැහැදිලි කරයි

(මාධ්‍ය නිවේදනය)

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා ශ්‍රී ලංකා සාමසාධක හමුදා දායකත්වය වෙනුවෙන් පැනවී ඇති බාධක පිළිබඳ විදේශ ලේකම් ආර්යසිංහ සාකච්ඡා කරයි

එක්සත් ජාතීන්ගේ 74 වන මහා මණ්ඩල සැසිවාරයට මේ වනවිට සහභාගී වී සිටින ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට නායකත්වය ලබාදෙන විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ඉකුත් සිකුරාදා (2019 සැප්තැම්බර් 27) දින නිව්යෝක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ (USSG/UNDPO) උප මහලේකම් ජීන් පියරේ ලැක්‍රොයික්ස් මහතා (Mr. Jean-Pierre Lacroix) හමුවී එක්සත් ජාතීන්ගේ සංවිධානයට ශ්‍රී ලංකා සාමසාධක හමුදා දායකත්වය සඳහා පැනවී ඇති බාධක පිළිබඳව සාකච්ඡා කළේය.

එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාව සඳහා යොදවා ඇති ශ්‍රී ලංකා හමුදා සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ නියෝජ්‍ය ප්‍රකාශක විසින් 2019 සැප්තැම්බර් 25 වන දින කරන ලද ප්‍රකාශය පිළිබඳව කරුණු විමසු විදේශ ලේකම් වෙත පැහැදිලි කිරීමක් සිදුකළ එක්සත් ජාතින්ගේ උප මහලේකම්වරයා ප්‍රකාශ කළේ මේ වනවිට සාමසාධක මෙහෙයුම්වල යෙදී සිටින ශ්‍රී ලංකා සාමසාධක භටයින්ගෙන් 25% ක් පමණක් ලෙබනනයේ සිය ධුර කාලය අවසන් වූ විට ඔවුන් වෙනුවට වෙනත් භටපිරිස් කණ්ඩායමක් ගෙන්වා ගන්වා බවයි. දැනට ලෙබනනයේ සිටින සාමසාධක භටපිරිස් යොදවා අදාල ස්ථානයන්හි රාජකාරි කටයුතු පවත්වාගෙන යෑමට නියමිතය. ශ්‍රී ලංකා සාමසාධක භටයින් තවදුරටත් අඩු නොකරන බව එක්සත් ජාතින්ගේ උප මහලේකම් ලැක්‍රොයික්ස් (USG Lacroix) තහවුරු කළේය.

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සත්‍ය වශයෙන්ම සනාථ කරන ලද හෝ ඔප්පු කර ඇති චෝදනා කිසිවක් නොමැති බවත්, ශ්‍රී ලංකා ජනාධිපතිතුමන් ඔහුව යුද්ධ හමුදාධිපති ලෙස පත්කරන විට ඔහු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ බවත් විදේශ ලේකම්වරයා මීට පෙර පෙන්වා දුන්නේය.

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහි චෝදනාවලට අදාළව සකස් කරන ලද වාර්තාවල විශ්වසනීයත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය එකඟ නොවන බව ලේකම්වරයා අවධාරණය කළේය. 2011 දරුස්මන් වාර්තාව කෙතරම් බරපතළ දෝෂ සහිත වුවත්, එවකට මානව හිමිකම් කවුන්සිලය එක්සත් ජාතීන්ගේ ලේඛනයක් ලෙස විධිමත් අංකයක් එයට නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ බව ඔහු සිහිපත් කළේය. තවද, “එය මානව හිමිකම් පරීක්‍ෂණයක් මිස අපරාධ පරීක්‍ෂණයක් නොවේ” සහ “එම විස්තරයේ දක්වා ඇති අණදාමයට අදාළ නම් එම වාර්ථාවේ විශේෂයෙන් සඳහන් කර ඇති උල්ලංඝනය කිරීම් පිළිබඳ සෘජු වගකීමක් ලෙස හෝ යම් අණක් යටතේ හෝ උසස් වගකීමක් ලෙස හෝ සාපරාධී වගකීමක් සඳහා වගකීමට බැදෙන බව සඳහන් කර නොමැත. පුද්ගල සාපරාධී වගකීම තීරණය කළ හැක්කේ අවශ්‍ය සියලු නිසි ක්‍රියාදාමයන් සහතික කර ඇති අධිකරණයකට පමණි.” යනුවෙන් 2015 සැප්තැම්බර් මාසයේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂන් කාර්යාලයේ විමර්ශන වාර්තාව (OISL) පැහැදිලි කළේය. 2019 ජනවාරියේ ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය (ITJP) ප්‍රකාශනය යනු කලින් ප්‍රකාශයට පත් කරන ලද දෝෂ සහිත තොරතුරු නැවත සකස් කිරීමකි.

මෙම වාර්තා කිසිවක් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැරදිකරු බව තහවුරු කිරීමට තරම් ප්‍රමාණවත් නොවන බව විදේශ ලේකම් මෙහිදි තවදුරටත් පැවසීය.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව (LLRC) මෙන්ම පරණගම කොමිෂන් සභා වාර්තා විශේෂයෙන් ගැටුමේ අවසාන අදියරයන් සම්බන්ධයෙන් චෝදනා විභාග කළ දේශීය ක්‍රියාදාමයන් වන අතර එම කොමිෂන් සභා දෙකම ඉදිරියේ පෞද්ගලිකව සාක්ෂි ලබාදුන් වත්මන් යුද්ධ හමුදාධිපතිගේ ක්‍රියාකලාපයට එරෙහිව එහිදී ප්‍රමාණවත් සාක්ෂි හමු වී නැත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රසිද්ධ කර ඇති තොරතුරුවල බරපතල විෂමතාවන් ද ඇති බව ශ්‍රී ලංකාවේ අදහස යැයි විදේශ ලේකම්වරයා මෙහිදී සඳහන් කළේය. සාමසාධක භටයින් සීමා කිරීම පිළිබඳ සාකච්ඡාව මුලින් ශ්‍රී ලංකා රජයට දැනුම්දුන් අවස්ථාවේදී සඳහන් කර ඇති පරිදි, ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ ජාතික මානව හිමිකම් කොමිසම (NHRCSL) සහ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා පරීක්‍ෂා කිරීම ප්‍රමාද වීම ගැන සඳහනක් නොවීය. එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් දෙපාර්තමේන්තුව සමඟ ඇති අවබෝධතා ගිවිසුම පැහැදිලිවම කියා සිටින්නේ, සේවය අත්හිටුවීමේ ක්‍රියාවලිය අදාළ පාර්ශවයන් අතර අදහස් විමසීමකින් පසුව සිදුකල යුතු බව වූවද මේ අවස්ථාවේ දී එක්සත් ජාතීන් සිය වගකීම ඉටු නොකර ඒකපාර්ශ්වික තීරණයක් ශ්‍රී ලංකාව පිළිබඳ ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා සහ එක්සත් ජාතීන්ගේ උප මහාලේකම්වරයා සමඟ පැවති දුරකථන සංවාදයකදී මෙම තීරණය පිළිබඳ දැනුම්දී ඇති අතර එය කිසිසේත්ම නොගැලපෙන ක්‍රියාවකි. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ නියෝජ්‍ය ප්‍රකාශක විසින් මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කිරීමට පෙර එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා පාර්ශවය සමඟ කිසිදු සන්නිවේදනයක් නොතිබීම තවදුරටත් කණගාටුවට කරුණකි. මීට අමතරව, ශ්‍රී ලංකා හමුදා භටපිරිස් වෙනුවට සාමසාධක භටපිරිස් පත් කරනු ඇතැයි අපේක්ෂා කරන හමුදා දායක රට පිළිබඳ තොරතුරු එක්සත් ජාතින්ගේ සාමසාධක දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් දැනුම්දෙනවා වෙනුවට රාජ්‍යතාන්ත්‍රික පිළිගැනීමේ උත්සවයකදී අදාළ රටේ තානාපතිවරයා විසින් ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සමඟ මේ බව පවසා ඇත.

ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් දෙපාර්තමේන්තුව සමඟ කරන ලද සන්නිවේදනයේ දී පෙන්වා දී ඇත්තේ ලුතිනන් ජෙනරාල් සිල්වා යුද්ධ හමුදාපති ලෙස පත් කිරීම හා ක්‍රිමවත් ඒකාබද්ධ පරික්‍ෂාවකින් පසු එක්සත් ජාතින්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා නම් කරන ලද සොල්දාදුවන්ගේ යෝග්‍යතාවය අතර කිසිදු සම්බන්ධයක් නැති බවයි. එබැවින් එම භටපිරිස් හට පෞද්ගලිකව දණ්ඩනීය ක්‍රියාවලියක් අනුගමනය කර ඔවුන් අගතියට පත් කිරීම පිළිගත නොහැක. තවද, ඔවුන්ගේ පුහුණුව හා සුදානම්වීම්වලින් පසුව වෙන් කර ඇති අදාළ මෙහෙයුම් සඳහා නීත්‍යානුකූලව යෙදවීම ඔවුන්ට අහිමි කිරීම ඔවුන්ගේ සාධාරණ අපේක්‍ෂාවන් ප්‍රතික්ෂේප කිරීමකි. එමගින් එක්සත් ජාතීන් එම තීරණය ක්‍රියාත්මක කිරීමෙන් මානුෂීය පැතිකඩ නොසලකා හැර තිබේ. මීට අමතරව, මෙම හඳුනාගත් ශ්‍රී ලාංකික සාමසාධක භටයින්ට එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් කරන ලද මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් ඔවුන්ගේ නිපුණතා විශේෂඥ දැනුම ලබාදීමට අවස්ථාව අහිමිවී ඇති අතර එහි ප්‍රතිඵලය වනුයේ භටපිරිස්වල සේවය ලබාගන්නා රටවල අදාළ කලාපයන්හි සාමසාධක කටයුතු බිඳවැටී අස්ථාවරත්වයක් ඇතිවීමෙන් එම රටවල් අපහසුතාවයට පත්වීමය.

මෙම තීරණය ක්‍රියාත්මක කිරීමේදී සේවය කිරීමට පහසු ස්ථානවල සිටින ශ්‍රී ලාංකික සාමසාධක භටපිරිස් වෙනුවට වෙනත් භටපිරිස් යොදවා අවදානම් සහිත තර්ජනාත්මක කලාපවල සේවය කරන ශ්‍රී ලංකා සාමසාධක භටපිරිස් දිගටම එම ස්ථානවල සේවය කිරීමට සැලැස්වීමෙන් එක්සත් ජාතින්ගේ සාමසාධක දෙපාර්තමේන්තුවේ අවස්ථාවාදී හා අසාධරණ ක්‍රියාකලාපයට යොමුවී ඇති අතර එම උතුම් සේවය දේශපාලනීකරණය කිරීමක් ලෙස විදේශ ලේකම් ආර්යසිංහ මහතා පෙන්වාදුනි.

වර්ෂ 1960 සිට අනතුරු වලින් පීඩා විඳිමින් ඉතා දුෂ්කර රටවල රාජකාරී කරමින් එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවට දිගුකාලීන දායකත්වයක් ලබාදී ඇති රටකට ගරු කිරීමක් ලෙස ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සන්දර්භය තුළ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ සිය තීරණය යළි සලකා බලන ලෙස ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ ලේකම් ආර්යාසිංහ මහතා ඉල්ලා සිටියේය.

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත තානාපතිනි ක්ෂෙනූකා සෙනෙවිරත්න, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය මෙහෙයුමේ හමුදා උපදේශක බ්‍රිගේඩියර් විජේන්ද්‍රලාල් ගුණතිලක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු විදේශ ලේකම්වරයා සමඟ මෙම සාකච්ඡාවට සම්බන්ධ වූහ. සාමසාධක මෙහෙයුම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ හමුදා උපදේශක ලුතිනන් ජෙනරාල් කාලෝස් හම්බර්ටෝ ලොයිටි (Lt. Gen. Carlos Humberto Loitey), මහලේකම්වරයාගේ නියෝජිත බෙල්ග්‍රේඩ්හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ (UNOB)ප්‍රධානි පීටර් ඩියු මහතා (Mr. Peter Due) සහ එක්සත් ජාතින්ගේ මහලේකම් කාර්යාලයේ ප්‍රධානී මාකෝ බියන්චිනි මහතා (Mr. Marco Bianchini) එක්සත් ජාතින්ගේ උප මහලේකම්වරයාට සහයෝගය ලබාදීම සඳහා එක්විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2019 සැප්තැම්බර් මස 28latest Running | Sneakers