Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd September 2019 22:30:23 Hours

'දියකාවා යුද අභ්‍යාසයේ’ අවසන් ප්‍රහාරය කුච්චවේලි හිදී සාර්ථකව දියත් කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දහවන වරටත් සංවිධානය කරනු ලැබු ‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) අවසන් ප්‍රහාරය විශේෂ ක්‍රියාන්විත හමුදා උපක්‍රම භාවිතා කරමින් යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බලකාය, ගුවන් සංග්‍රාමික බලසේනා සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සෙබළුන්, නාවික හමුදා සෙබළුන් සහ ගුවන් හමුදා සෙබළුන් විදේශිය හමුදා සෙබළුන් සමඟ එක්ව සැප්තැම්බර් මස (23) දින මධ්‍යහනේ සාර්ථකව දියත් කරනු ලැබූ අතර එම අවස්ථාවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, රාජ්‍ය නිලධාරින්, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, අනෙකුත් ආරාධිතයින්, මාධ්‍යවේදින් ඇතුළු සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගි වූහ.

වාර්ෂිකව පවත්වනු ලබන ‘දියකාවා යුද අභ්‍යාසයේ අවසන් ප්‍රහාරය, සැඟවී සිටින සතුරු කඳවුරක් අභීයෝගාත්මක හා ක්ෂණිකව, නිවැරදිතාවකින් යුක්තව විශ්මයජනක ප්‍රහාරයක් ලෙස සාර්ථකව එල්ල කරනු ලබන ආකාරය විදහා දැක්වෙන පරිදි ක්‍රියාත්මක කෙරිණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ගෞරවයක් එක් කරමින්, ‘දියකාවා යුද අභ්‍යාසයේ’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) අවසන් ප්‍රහාරය දියත් කිරීම සඳහා රටවල් 10 ක් නියෝජනය කරමින් විදේශීය හමුදා සාමාජිකයින් 80 දෙනෙකු සහභාගි වූහ.

මෙම යුද අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කමාන්ඩෝ, විශේෂ බලකා, පාබල හමුදා සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සෙබළුන් ඇතුළු යුද්ධ හමුදා සෙබළුන් 2400 ක්, නාවික හමුදා සෙබළුන් 400 ක් සහ ගුවන් හමුදා සෙබළුන් 200 දෙනෙකු සහභාගි වූහ. මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසය සැප්තැම්බර් මස 03 වන දින ආරම්භ වී ත්‍රිකුණාමලය, නුවර, වික්ටෝරියා වේල්ල, පූල්මුඩේ, නීජපානිතන්කුලම්, නිලාවේලි, ඉබ්බන්කටුව ජලාශය, කොළඹ, සිගිරිය, ගෝමරන්කඩවල, වඩුමුනේ, කොළඹ 07 පිහිටි බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, මන්නාරම, බලපිටිය, මදුරන්කේනිකුලම්, කායන්කර්නි, ඉලුප්පෙයිකඩ්ඩවායි, නාරකමුල්ල සහ නුවරඑළිය ප්‍රදේශයන්හි පුහුණු මෙහෙයුම් පවත්වා අවසන් යුද අභ්‍යාසය කුච්චවේලි වෙරළ තීරයේ දී දියත් කරනු ලැබීය.

ඒ අනුව, ‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ මැලේසියාව, මාලදිවයින, නේපාලය, රුසියාව, ඇමරිකා එක්සත් ජනපදය, බංගලාදේශය, චීනය, ප්‍රංශය, ඉන්දියාව, ඉරානය, පාකිස්තානය, එක්සත් රාජධානීය, සහ සිම්බාබ්වේ යන රටවල්හි විදේශීය හමුදා නියෝජිතයින් සමඟ සමීප සහයෝගීතාවයෙන් යුතුව සති තුනකට අධික කාලයක් පූරා සාර්ථකව පැවැත්විණි.

‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) අවසන් ප්‍රහාරය දියත් කරනු ලබන අවස්ථාවේ විශේෂ ආරාධිතයින් ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ආරාධනයකට අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර සී විජේගුණරත්න, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් සහභාගි වූහ. යුද අභ්‍යාසයේ අවසන් ප්‍රහාරය, සතුරු කඳවුරකට පහරදීමේ අවස්ථාවක් නිරූපනය වන පරිදි කමාන්ඩෝ සහ විශේෂ බලකා භටපිරිස්හි මුලිකත්වයෙන් ඇරඹුණු අතර, පසුව එම්අයි 24 හෙලිකොප්ටර් යානා, මිග් ප්‍රහාරක යානා සහ නාවික ප්‍රහාරක යාත්‍රා ද එක්ව සතුරු කඳවුර වෙත ප්‍රහාර එල්ල කිරීම ආරම්භ විය.

විශේෂ මෙහෙයුම් සඳහා සහභාගිවන භටපිරිස් වල කාර්යක්‍ෂමතාව වැඩිදියුණු කිරීම, ක්‍රියාන්විත සූදානම සහ භටපිරිස් හි සූදානම වැඩිදියුණු කිරීම මෙම අභ්‍යාසයේ ප්‍රධානතම ඉලක්කයන් විය.

යුද්ධ හමුදාවක තිබිය යුතු වෘත්තීය නිපුණත්වය හා එම දැනුම බෙදාහදා ගැනීම, ඒකාබද්ධ මෙහෙයුම්වල ස්වභාවයක් වන ‘අන්තර්ක්‍රියාකාරී හැකියාව’ ප්‍රගුණ කිරීම, විවිධාකාරි වු පරිසර වල විවිධාකර වු විධාන මට්ටම් වල මෙහෙයුම් කිරීමේ හැකියාව ප්‍රගුණ කිරීම, පොදු අවබෝධය වර්ධනය කිරීම, හමුදා න්‍යායික දැනුම ප්‍රායෝගිකව යෙදවීම හා පරික්‍ෂාව මෙන්ම විශේෂ මෙහෙයුම් වල මූලධර්ම පුහුණු කිරීම සහ එම මෙහෙයුම් වලට දියුණු තාක්‍ෂණික ක්‍රමවේදයන් ඒකාබද්ධ කිරීම යන කරුණු මෙම යුධ අභ්‍යාසය මඟින් ප්‍රවර්ධනය කෙරිනි.

යුද අභ්‍යාස අධ්‍යක්‍ෂක මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ විසින් ආරම්භක දේශනය සිදුකරමින් ප්‍රකාශකර සිටියේ, ඕනෑම ආරක්‍ෂක තර්ජනයකට සූදානම්වීම සඳහා විශේෂ මෙහෙයුම් බලකායේ (SOF) සෙබළුන්ට පෙර සූදානමක් ඇති කිරීමට අත්දැකීම් ලබාදීමේ අරමුණින් මෙය සැලසුම් කර ඇති බවයි.

අනතුරුව, ‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ (ඒකාබද්ධ ක්‍ෂේත්‍ර යුද අභ්‍යාසය) අවසන් ප්‍රහාරය දියත් කිරීමේ අවස්ථාව වෙනුවෙන් සන්නද්ධ හමුදා සේනාධිනායක මෙන්ම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නිකුත් කරන ලද පණිවිඩය යුද අභ්‍යාසයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ලුතිනන් කර්නල් සිල්වෙස්ටර් පෙරේරා විසින් මෙම අවස්ථාවේ ප්‍රකාශයට පත් කරනු ලැබීය. එහිදි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් විසින් මාතෘ භූමියේ ආරක්‍ෂාව වෙනුවෙන් සිදු කල කැපකිරීම ඇගයුමට ලක් කළහ.

මෙවර ‘දියකාවා X - 2019 යුද අභ්‍යාසය’ හී මෙහෙයුම් සඳහා GIS මෘදුකාංගය, ඩිජිටල් සිතියම් සහ ස්මාර්ට් තාක්‍ෂණයෙන් දත්ත ඇතුලත් කල පුවරු යන නවීන තාක්‍ෂණික ක්‍රමවේදයන් උපයෝගි කරගනිමින් ඒකාබද්ධ නාවික මෙහෙයුම්, රාත්‍රි මෙහෙයුම් සහ කමාන්ඩෝ සහ විශේෂ බලකා විශේෂ මෙහෙයුම් සිදුකර ඇත.

දියකාවා ක්ෂේත්‍ර යුද අභ්‍යාසයේ අධ්‍යක්‍ෂක මේජර් ජෙනරල් ලක්සිරි වඩුගේ ගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂක මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා ඇතුළු නිලධාරී මණ්ඩලයක සම්බන්ධීකරණයෙන් මෙම ‘දියකාවා X – 2019 යුද අභ්‍යාසය’ අවසන් අදියර දක්වා සියලු මෙහෙයුම් වෘත්තිමය මට්ටමින් සැලසුම් කරනු ලැබීය.

මෙම යුද අභ්‍යාසය ආරම්භයේ සිට සාර්ථකව පැවැත්වීම සඳහා නියෝජ්‍ය අභ්‍යාස අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් සුජිව සෙනරත් යාපා, කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ඒ. සමරසිරි සහ විශේෂ බලකා බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජේ.පී.සී. පීරිස් කටයුතු කළහ.

‘දියකාව X – 2019’ යුද පුහුණු අභ්‍යාසය සැප්තැම්බර් මස 03 දින මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ පැවැති උත්සවයකින් අනතුරුව ආරම්භ විය.

මෙම පුහුණු අභ්‍යාසය මූලික වශයෙන්ම පාමුර සංචාර, කඳවුරු තුළට ඇතුළුවීම සහ පිටවීම, පිරික්සුම් සහ ආවේශණය, යුද පිරික්සීම, සම්බන්ධවීම, අල්ලාගැනීම, ඉදිකිරීම් හා කඩා බිද දැමීම්, වැටලීම්, රැක සිට පහර දීම, වටලා පහරදීම්, ගලවාගැනීමේ මෙහෙයුම්, නගරබද සටන්, සයිබර් ආරක්‍ෂණය සහ ආපදා කළමණාකරණ මෙහෙයුම් ආවරණය වන පරිදි සිදු කරනු ලැබීය.

මෙම ක්ෂේත්‍ර පුහුණු යුධ අභ්‍යාසයේ සතුරු කඳවුරට ප්‍රහාර එල්ල කිරීමේ අවසන් අදියරේ දී යුද්ධ හමුදා භටයන් ශ්‍රී ලංකා නාවික හමුදාව හා ගුවන් හමුදාව සමඟ සමීප සම්බන්දතාවයෙන් ඕනෑම අවස්ථාවකදි විශේෂ මෙහෙයුම් සඳහා සෙබලුන් ස්ථානගත කිරීම සහ ඒකාබද්ධ මෙහෙයුම් සැලසුම් කිරීම යන කරුණු පුහුණුවීම සඳහා මෙම පුහුණු අභ්‍යාසය සංවිධානය කරන ලදි. භටපිරිස් එක් කණ්ඩායමක් ලෙස ඒකාබද්ධ මෙහෙයුම්වල යෙදීමට සැලසුම් කර ඇති අතර මෙම යුද අභ්‍යාසයේදී  නිවැරදි යුද සැලසුම් භාවිතා කරමින් සතුරු කඳවුරු විමර්ශනය කර බුද්ධි තොරතුරු ලබාගැනීමෙන් අනතුරුව සතුරු කඳවුරු වෙත ප්‍රහාර එල්ල කර විනාශ කිරීමේ මූලික යුද උපක්‍රම භාවිතා කරනු ලබයි.

සති තුනක් පුරා පැවැති මෙම අභ්‍යාසය ඕනෑම හදිසි අවස්ථාවකදි භට පිරිස් එක් කණ්ඩායමක් ලෙස ඒකාබද්ධ මෙහෙයුම් සිදුකිරීමේ පුහුණුව ඇති කිරීමේ අරමුණින් හා හැකියාවන්ගෙන් යුත් විශේෂ ක්‍රියාන්විත බලකායන් න්‍යායාත්මක රාමුවක් තුල ක්‍රමවත්ව යෙදවීම සඳහා සැලසුම් කර ඇති අතර එම අභ්‍යාසයන් නැගෙනහිර, මධ්‍යම, බටහිර සහ උතුරු පළාත් ආවරණය වන පරිදි පැවැත්විණි.

මීට අමතරව සියලුම සහභාගිවන්නන් හට ගලවාගැනීමේ මෙහෙයුම්, ඒකාබද්ධ මෙහෙයුම්, ආරක්‍ෂිත නිවාස වැටලීම් , දිය යට සිදු කරනු ලබන මෙහෙයුම්, වටලා පහරදීමේ මෙහෙයුම් නිදර්ශන, සැලසුම්, සුදානම් වීම, ගොඩනැගීම්, සම්බන්ධීකරණය, අණ පාලනය, යුධ උපක්‍රම, තාක්ෂණික ක්‍රම සහ ක්‍රියාපටිපාටින්, නියමිත කාලය තුල දී ක්‍රියාන්විත සිදු කිරීම් ගුවන් සහ නාවික ගලවා ගැනීම් මෙහෙයුම්, ප්‍රහාර එල්ල කිරීම සහ බුද්ධි තොරතුරු රැස්කිරීම් යන ක්ෂේත්‍රයන් පිළිබදව මෙම අභ්‍යාස මගින් පුළුල් ප්‍රායෝගික දැනුමක් ලබාදෙන ලදි.

විශේෂ බලකායේ භටපිරිස් ඒකාබද්ධව ඔවුන්ගේ කුසලතා පෙන්නුම් කරමින් සතුරු කඳවුරට ප්‍රහාරය එල්ල කරන අවසන් යුද්ධ අභ්‍යාසය නැරඹීම සඳහා විදේශීය නියෝජිතයින් එක්ව සිටිහය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විදේශීය ආරාධිතයින් සමඟ මෙහිදී සුහදව අදහස් හුවමාරු කරගත් අතර ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් රටේ අභිමානයේ කොටස්කරුවන් වන විශේෂ බලකා සහ කමාන්ඩෝ භටයින් පුහුණු කිරීම පිටුපස ඇති සුවිශේෂී පරමාර්ථය හා වැදගත්කම මාධ්‍යවේදීන් වෙත පැහැදිලි කළේය. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කමාන්ඩෝ සහ විශේෂ බලකා භටයින්ගේ සාර්ථක පුහුණුව පිළිබඳවත් සහභාගි වු අනෙකුත් භටපිරිස් මෙහෙයුමට දැක්වු දායකත්වය පිළිබඳවත් ඒ තුළින් ඔවුන් ලබාගත් අත්දැකීම් හා කුසලාතා පිළිබඳවත් මෙහිදි පැසසුමට ලක් කරන ලදි. latest Nike release | Shop: Nike