Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th August 2019 23:12:50 Hours

‘9 වන කොළඹ ආරක්‍ෂක සමුළුව - 2019’ බුද්ධිමය සම්බන්ධතාවයන් පුළුල් කරමින් උත්සවාකාරයෙන් ආරම්භ කෙරේ

ලොවපුරා වූ ආරක්‍ෂාව සබැඳි පාර්ශවකරුවන්, විද්වතුන් සහ ආරක්‍ෂක විශේෂඥයින් රැසකගේ සහභාගිත්වයෙන් 'සමකාලීන ආරක්‍ෂක වටපිටාව තුළ විකාසනය වන හමුදාමය විශිෂ්ටත්වය' (Evolving Military Excellence in the Contemporary Security Landscape) යන තේමාව ඔස්සේ මෙවරත් ‘කොළඹ ආරක්‍ෂක සමුළුව - 2019’ අද (29) දින උදෑසන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී නිල වශයෙන් ආරම්භ විය.    

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ආරාධනයකට අනුව සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහභාගි විය. මෙම අවස්ථාවට සපැමිණි අතිගරු ජනාධිපතිතුමන්ව, ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් උණුසුම් අයුරින් පිළිගෙන ප්‍රධාන ශාලාව වෙත කැටුව යන ලදී.

ලොවපුරා වූ ආරක්‍ෂාව සබැඳි පාර්ශවකරුවන්, විද්වතුන් සහ ආරක්‍ෂක විශේෂඥයින් 800 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් දෙදිනක් පුරා (අගෝස්තු මස 29 – 30) පැවැත්වෙන දීර්ඝ සාකච්ඡාවලදී ගෝලීය ආරක්‍ෂණ අවශ්‍යතා සාමූහිකව ඇගයීමට ලක් කිරීම සහ අභියෝගයන්ට ලක් කළ හැකි ක්‍රමවේදයන් ගවේෂණය කිරීමේ හැකියාව සැසි නවයක් යටතේ තේමා කිහිපයක් ඔස්සේ ගැඹුරු ලෙස සාකච්ඡාවට ලක් කිරීමට සැලසුම් කර ඇත.

විද්වත් කතිකාවකට මුලපුරමින් දෙදිනක් පුරා පවත්වනු ලබන මෙම සම්මන්ත්‍රණය සඳහා රටවල් 42 ක් නියෝජනය කරමින් විදේශීය විද්වතුන් 13 ක් සහ දේශීය කථිකයින් 14 ක් විසින් වත්මන් ආරක්‍ෂක භූමීකාව: ගැටුම් හෝ සහයෝගීතාවය (Contemporary Security Landscape: Conflict or Cooperation), ත්‍රස්තවාදය සමඟ සටන් කිරිම (Confronting Terrorism), හමුදා නවීකරණය (Modernization Military), වත්මන් ආරක්‍ෂක භූමීකාව තුළ හමුදා සුදානම් කිරිම (Military Readiness in the Contemporary Security Landscape), යන උප මාතෘකා යටතේ බුද්ධිමය සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලාංකීක සංස්කෘතියේ විවිධත්වය විදහා දක්වමින් සෞන්දර්යාත්මක අංගයන්ගෙන් වර්ණවත් වූ සමාරම්භක උත්සවය අතිගරු ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව ආරම්භ විය.

සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දැල්වීමේ අවස්ථාව සඳහා අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, නාවික හමුදාධිපති, ගුවන් හමුදාධිපති සහ පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් එක්ව සිටියහ. මෙහිදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් පිළිගැනීමේ දේශනය සිදුකිරීමෙන් අනතුරුව ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ විසින් සමාරම්භය සනිටුහන් කිරීමේ දේශනය සිදුකරන ලදී.

එහිදි, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු අනෙකුත් ආරාධිතයින් උණුසුම් අයුරින් පිළිගත් අතර, ලෝකය පුරා සිටින සියලුම ජාතීන් අතර ආරක්‍ෂාව සහ ඒ හා සබැඳි අභියෝග පිළිබඳ දැනුම ව්‍යාප්ත කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලදි. “මෙය ජයග්‍රාහී වාසි බෙදාගැනීමට දරන උත්සාහයක් පමණක් නොව, පරාජයන් පිළිබඳව ඉගෙන ගැනීමට ද වන අතර මෙය සමාන අදහස් ඇති ජාතීන් අතර තොරතුරු බෙදාහදාගැනීම සඳහා වන අභ්‍යාසයකි. නව අභියෝග හඳුනාගෙන නවීන ත්‍රිත්ව සංකල්පයට අනුකූලව අනාගත තර්ජන හා අභියෝග විසඳිය යුතුය”

යුද්ධ හමුදාධිපතිතුමා සියලුම නියෝජිත පිරිස් උණුසුම් අයුරින් පිළිගනිමින් සිය පිළිගැනීමේ දේශනයේදී “ආරක්‍ෂිත විෂය පථය සහ එහි අභියෝග කෙරෙහි අවධානය යොමු කළ මෙම පුළුල් කතිකාව නිසැකවම භූ-උපායමාර්ගික ආරක්‍ෂාව පිළිබඳ විවේචනාත්මක චින්තනය උත්තේජනය කරන සංසදයක් ජනනය කරනු ඇත. මෙම තේමාවන් මගින් නැගී එන තර්ජන හා අභියෝග විශ්ලේෂණය කරනු ඇත. මෙම සම්මන්ත්‍රණය හමුදා විශිෂ්ටත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා මඟ විවර කරදෙනු ලබන වේදිකාවක් ද වනු ඇත.”යනුවෙන් පැවසීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ආරාධනාවට අනුව මෙම සම්මන්ත්‍රණය සඳහා තානාපතිවරු, රාජ්‍යතාන්ත්‍රිකයින්, විදේශීය නියෝජිතයින්, අණ්ඩුකාරවරුන්, විශ්‍රාමික යුද්ධ හමුදා ප්‍රධානීන්, ලේකම්වරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ආරක්‍ෂාව සබැඳි පාර්ශවකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

හවායි හි ආරක්‍ෂක අධ්‍යයන සඳහා වූ ආසියා-පැසිෆික් මධ්‍යස්ථානයේ ආදී ශිෂ්‍යයෙකු වන මාධ්‍ය ව්‍යවසායකයකු, උපායමාර්ගික කටයුතු විශ්ලේෂකයකු මෙන්ම හමුදා ඉතිහාසය පිළිබඳ ග්‍රන්ථ කර්තෘ නිතින් ඒ ගොඛ්ලේ (Mr.Nitin A. Gokhale) මහතා විසින් මෙම සමුළුවේ ආරම්භක සැසියේ පළමු දේශනය සිදුකරමින් ආරක්‍ෂව පිළිබඳ ගෝලීය ගැටළු විසඳීම හා ඒවා හඳුනාගැනීම සඳහා මේ ආකාරයේ බුද්ධිමය අන්තර්ක්‍රියාකාරි සැසි අඛණ්ඩව පැවැත්වීමේ අවශ්‍යතාව අවධාරණය කරනු ලැබීය.

සමාරම්භක උත්සවය අවසානයේ අතිගරු ජනාධිපතිතුමන් විශේෂ ආරාධිතයින් සහ විදේශීය නියෝජිතයින් සමඟින් සමුහ ඡායාරූපයකට පෙනී සිටියහ. buy footwear | Nike React Element 87