Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th August 2019 13:03:04 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ජය ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගනී

නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, අනුරාධපුරය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනාමාන කිරීමට ප්‍රමුඛත්වයක් ලබාදෙමින් ඉකුත් සිකුරාදා (25) දින සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ පූජනීය බෝධීන් වහන්සේ වැඳපුදාගනිමින් ආශීර්වාද ලබාගත්හ.

පූජාභූමිය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය ප්‍රථමයෙන්ම, අනුරාධපුර අටමස්ථානාධිපති සහ විහාරාධිපති මෙන්ම නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය, ආචාර්ය පල්ලේගම සිරිනිවාසාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හමුවූහ.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නව පත්වීම පිළිබඳව සිය සුබපැතුම් පිරිනැමූ පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාසාභිධාන නායක හිමියන්, ජාතික ආරක්‍ෂවට ප්‍රමුඛතාවය ලබාදෙමින් සිය රාජකාරිය ඉතා කැපවීමෙන් කරගෙන යන ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම, රටේ ආරක්‍ෂාව වෙනුවෙන් පැය 24 පුරාම කාලය කැප කරන බවත් රටේ සියලු ජනතාව වෙනුවෙන් ඉදිරියේදී උද්ගත විය හැකි ඕනෑම අභියෝගයක් භාරගැනීමට තමන් සූදානම් බවත් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පූජ්‍ය ආචාර්ය පල්ලගම සිරිනිවාසාභිධාන නායක හිමියන්ට සහතික විය.

මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මල් වට්ටියක් ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පූජා කළ යුද්ධ හමුදාධිපතිතුමන් හට පූජනීය භූමිය අසල පැවති බත් දන්සලක් විවෘත කිරීමට ආරාධනා කරන ලදී. යුද්ධ හමුදාධිපතිතුමන් දන්සල විවෘත කර බැතිමතුන්ට ආහාර බෙදාදෙමින් ඔවුන්ගෙන් කිහිපදෙනෙකු සමඟින් සුහද පිළිසඳරක ද නිරතවිය.

අනුරාධපුරට සපැමිණි නව යුද්ධ හමුදාධිපතිතුමන්ව, ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක, සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. bridge media | Air Jordan