Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th August 2019 23:35:31 Hours

නව යුද්ධ හමුදාධිපතිතුමන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගෙන මල්වතු හා අස්ගිරි මහානායක හිමිවරුන්ගේ ආශීර්වාද ලබාගනී

නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉකුත් සිකුරාදා (25) දින උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදාගත් අතර එහිදී, මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානා‍යක මාහිමිපාණන් වහන්සේ සහ අස්ගිරි පාර්ශවයේ අතිපූජ්‍ය වරකා‍‍‍ගොඩ ධම්මසිද්ධි ශ්‍රී ඥාණරතන මහානායක මාහිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේලාගේ ආශීර්වාද ලබාගත්හ.

දළදා මාලිගා පරිශ්‍රය වෙත සපැමිණි නව යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති සුජීවා නෙල්සන් මහත්මිය, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ, 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර සහ 111 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සනත් අලුවිහාරේ විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

පූජාභූමියට පැමිණි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මල් වට්ටියක් පූජා කර ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව භික්ෂූන් වහන්සේලාගේ ආශිර්වාද ලබාගත්හ. දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා සිය කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපතිතුමන්ව සහ සුජීවා නෙල්සන් මැතිණිය උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ඔවුන් සමඟ සුහද පිළිසඳරක යෙදිණි. එම හමුව අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් මෙම සංචාරය සිහිවනු වස් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා වෙත සමරුතිළිණයක් ප්‍රදානය කළ අතර නිලංග දෑල බණ්ඩාර මහතා විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරුතිළිණයක් පිරිනමන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් මල්වතු විහාරස්ථාන පරිශ්‍රයේදී, මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානා‍යක මාහිමිපාණන් වහන්සේ බැහැදැක වැඳපුදා ආශීර්වාද ලබාගත් අතර යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නව පත්වීම පිළිබඳ මහානායක හිමිපාණන් සුභපැතුම් ද පිරීනැමීය. මෙම සංචාරය සිහිවනු වස් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත මල්වතු පාර්ශවයේ මහානායක හිමිපාණන් වහන්සේ බුද්ධ ප්‍රතිමාවක් ප්‍රදානය කරනු ලැබීය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් අස්ගිරි විහාරස්ථානයේදී, අස්ගිරි පාර්ශවයේ අතිපුජ්‍ය වරකා‍‍‍ගොඩ ධම්මසිද්ධි ශ්‍රී ඥාණරතන මහානායක මාහිමිපාණන් වහන්සේ හමුවිය. එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නව පත්වීම සඳහා ආශිර්වාද එක් කළ අස්ගිරි පාර්ශවයේ මහානායක හිමිපාණන් වහන්සේ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අනාගත අභිප්‍රායන් පිළිබඳ සිය සුභපැතුම් එක්කරමින් බුද්ධ ප්‍රතිමාවක් ප්‍රදානය කරනු ලැබීය. මල්වතු සහ අස්ගිරි පාර්ශව විහාරස්ථානයන් වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ඉන් නික්මයාමට ප්‍රථම සමරු පොත්වල ද සටහන් තැබීය. url clone | Nike Shoes