Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st July 2019 18:19:05 Hours

වෛද්‍ය ප්‍රතිකාර හෝ වෙනත් කටයුතු සඳහා කොළඹට පැමිණෙන සෙසුනිලයින්ට නවාතැන් පහසුකම් සපයයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සංකල්පයකට අනුව, වෛද්‍ය ප්‍රතිකාර හෝ වෙනත් කටයුතු සඳහා කොළඹට පැමිණෙන සෙසුනිලයින්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට අවම මිලකට නවාතැන් පහසුකම් සැපයීමේ අරමුණින් කොළඹ යුද්ධ හමුදා රෝහල ආසන්නයේ පිහිටි මැනිං ටවුන් යුද්ධ හමුදා නිවාස සංකීර්ණයේ ප්‍රතිසංස්කරණය කරන ලද අංගසම්පූර්ණ නිවාඩු නිකේතන දෙකක් අද (31) දින උදෑසන විවෘත කරනු ලැබීය.

වෛද්‍ය හෝ වෙනත් පෞද්ගලික කටයුතු සඳහා කොළඹට පැමිණෙන සෙසුනිලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් රාත්‍රී නවාතැන් පහසුකම් නොමැතිකම මෙන්ම ඒ සඳහා විශාල පිරිවැයක් දැරීම හේතුවෙන් බොහෝ දුෂ්කරතාවන්ට මුහුණදෙන බැවින් යුද්ධ හමුදාධිපති තුමන්ගේ උපදෙස් මත විවාහක යුද්ධ හමුදා සාමාජිකයින් භාවිතා කරන මහල් 5 කින් සමන්විත නේවාසික ගොඩනැගිලි සංකීර්ණයේ නිවාස දෙක ප්‍රතිසංස්කරණය කිරීම යුද්ධ හමුදා මූලස්ථානයේ ඉඩම් දේපළ හා භඨනිවාස අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් භාරගන්නා ලදී.

ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සහ සියලුම කොමිෂන් නොලත් නිලධාරීන් ඇතුළු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් ප්‍රතිසංස්කරණය කරන ලද නිවාස දෙක විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉඩම් දේපළ හා භඨනිවාස අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්‍රසේකර ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය. ගොඩනැගිලි සංකීර්ණය ප්‍රතිසංස්කරණය කර නිවාස දෙකට අවශ්‍ය සියළුම ගෘහ භාණ්ඩ හා අනෙකුත් පහසුකම් සැපයීම සඳහා යුද්ධ හමුදාව රුපියල් මිලියන 1.4 ක් පමණ වැය කර ඇත.

යුද්ධ හමුදාධිපතිතුමන්, මාණ්ඩලික ප්‍රධානී සහ රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සමඟ එක්ව සමරුඵලකය නිරාවරණය කර පීත්ත පටිය කපා ප්‍රතිසංස්කරණය කරන ලද නිවාස දෙක විවෘත කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමඟින් උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ඉන්ද්‍රජිත් විද්‍යානන්ද, ඉඩම් දේපළ හා භඨනිවාස අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්‍රසේකර, 14 වන සේනංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් චූලා අබේනායක, පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට කොළඹ නගරයට පැමිණෙන යුද්ධ හමුදා සාමාජිකයින්ට ඔවුන්ගේ රාජකාරී අවසන් වන තුරු කොළඹ නගරයේ රැඳී සිටිමට සිදුවන බැවින් මෙම නවාතැන් පහසුකම් ඔවුනට දීර්ඝ කාලීන අවශ්‍යතාවයක්ව පැවතිණි. නව පහසුකම විවෘත කිරීමෙන් අනතුරුව, පළමු වරට නිල නිවාස දෙක වෙන් කර ගත් පවුල් දෙකේ සාමාජිකයින් සමඟ යුද්ධ හමුදාධිපතිතුමන් සුහදව අදහස් හුවමාරු කරගත්හ. ව්‍යාපාර සඳහා කොළඹ සිටින එක් පවුලකට නිවුන් දරුවන් සිටි අතර අනෙක් පවුලේ සාමාජිකයන් හය දෙනෙකු සිටියහ.

වෛද්‍ය හෝ වෙනත් පෞද්ගලික කටයුතු සඳහා කොළඹට පැමිණෙන සෙසුනිලයින්ගේ සුභසාධනයට සාධාරණ මිලක් ලබාදෙමින් යුද්ධ හමුදා ඉඩම්, දේපළ හා භඨනිවාස අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් නව පහසුකම් සහිත නිවසක් එක් රාත්‍රියකට රුපියල් 300/= ක පමණ අඩු මුදලකට සෙසුනිලයෙකුට ලබාදෙනු ලබයි. කොළඹ නගරයේ රාත්‍රියේ රැඳී සිටීමට අදහස් කරන සියලුම සෙසුනිලයින් ඔවුන්ගේ රාජකාරි ස්ථාන හරහා මෙම පහසුකම ලබා ගත හැකිය.

යුද්ධ හමුදාධිපතිතුමන් එම පරිශ්‍රයේ රැඳී සිටි කාලය තුළ මැනිං ටවුන් නිවාස සංකීර්ණය තුළ දැනට ක්‍රියාත්මක කරමින් පවතින සංවර්ධන ව්‍යාපෘතීන්වල ප්‍රගතිය පිළිබඳ විමසා සිටියේය. ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් නව නිවාස සංකීර්ණය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ශ්‍රමදායකත්වය ලබාදුන් යුද්ධ හමුදා සාමාජිකයින් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්හ. latest Running Sneakers | Nike - Shoes & Sportswear Clothing