Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th July 2019 10:06:26 Hours

‘2017/2018 යුද්ධ හමුදා වර්ණ රාත්‍රිය’ අතී උත්කර්ෂවත් අයුරින් පැවැත්විය

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂ ව්‍යාපෘතීන්ගෙන් තවත් එක් ව්‍යාපෘතියක් ලෙස යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුවිශේෂී කුසලතා හඳුනාගෙන ඒවා ඇගයුමට ලක් කිරීමේ අරමුණින් පවත්වනු ලබන ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා වර්ණ රාත්‍රිය 2017/2018’ විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යතුමන්, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති, නාවික හමුදාධිපති, ගුවන් හමුදාධිපති මෙන්ම තවත් සම්භාවනීය ආරාධිතයින් රැසකගේ සහභාගිත්වයෙන් ඉකුත් සිකුරාදා (19) දින කොළඹ නෙළුම් පොකුණ රඟහල් පරිශ්‍රයේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

වර්ෂ 2017 සහ 2018 කාලසීමාව තුල විවිධ ක්‍රීඩා ක්‍ෂේත්‍රයන් 41 ක් නියෝජනය කරමින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගත් යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 125 දෙනෙකු වෙත මෙම වර්ණ රාත්‍රියේ දී සම්මාන ප්‍රදානය කෙරුණු අතර අනෙකුත් ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත රෙජිමේන්තු මට්ටමින් පැවැත්වෙන වර්ණ රාත්‍රින් තුළදී සම්මාන ප්‍රදානය කිරීමට නියමිතව ඇත.

මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ පළමු අධියරේදී, 2017 සහ 2018 යන වර්ෂයන්හී හොඳම පැරා ක්‍රීඩකයා, හොඳම ක්‍රීඩකයා සහ හොඳම ක්‍රීඩිකාව වශයෙන් තේරීපත් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වේදිකාව වෙත කැඳවා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ගරු විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමන් සහ ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ සමඟ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක එක්ව එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සම්මාන සහ රුපියල් 500,000/= බැගින් මූල්‍යමය ත්‍යාග පිරිනමනු ලැබීය.

උත්සවය ආරම්භයේ සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්‍ෂා කළහ. ඉන් අනතුරුව, යුද්ධ හමුදා ගීතය ගායනා කෙරුණු අතර අලංකාරවත් සංස්කෘතික නර්තනයන්ගෙන් මෙම උත්සවය වඩාත් වර්ණවත් විය. යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් උත්සවයේ පිළිගැනීමේ කථාව සිදුකල අතර එහිදී ක්‍රීඩකයින් හට සිය සුභපැතුම් ද එක් කළේය.

යුද්ධ හමුදා ක්‍රීඩා ඉතිහාසය සහ ක්‍රීඩා ජයග්‍රහණයන ඇතුලත් වාර්තාමය විඩියෝ පටයක් මෙම අවස්ථාවේදී ප්‍රදර්ශණය කෙරුණු අතර ක්‍රීඩාව සඳහා කැප වූ යුද්ධ හමුදා රණවිරුවන් වෙනුවෙන් රචනා කරන ලද නව ගීතයක් ද එහිදි එළි දක්වනු ලැබීය.

උත්සවය අතරතුරදී, ආරක්‍ෂක ලේකම් විසින් ප්‍රවීණ ක්‍රීඩකයින් සිව්දෙනෙකු හට සම්මාන සහ රුපියල් 200,000/= බැගින් මුදල් ත්‍යාගයන් පිරිනමනු ලැබීය. මීට සමගාමීව, දේශීය සහ විදේශීය ක්‍රීඩා ඉසව්වන්හී දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් 2017 වර්ෂයේ හොඳම ක්‍රීඩකයා ලෙස තේරීපත් වූ කමාන්ඩෝ රෙජිමේන්තුවේ සැරයන් ජේ.ඒ.සී. ලක්මාල් සහ 2017 වර්ෂයේ හොඳම ක්‍රීඩිකාව ලෙස තේරීපත් වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් එම්.ඩබ්.ටී. සමන්මලී මෙන්ම හොඳම පැරා ක්‍රීඩකයා ලෙස තේරී පත් වූ ගජබා රෙජිමේන්තුවේ එච්.එම්.ඩී.පී. හේරත්ට ද වර්ණ ප්‍රදානය කිරීම මෙම වර්ණ රාත්‍රියේදී සිදුවිය.

එසේම, දේශීය සහ විදේශීය ක්‍රීඩා ඉසව්වන්හී විවිධ කුසලතා අගය කරමින් 2018 වර්ෂයේ හොඳම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ සැරයන් එම්.වී.අයි.ආර්.එස්. බණ්ඩාර සහ 2018 වර්ෂයේ හොඳම ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් කේ.එම්.පී.කේ. ලියනගේ ද, ශ්‍රී ලංකා පාබල හමුදාවෙහි ලාන්ස් කෝප්‍රල් අමිල ප්‍රශාන් හොඳම පැරා ක්‍රීඩකයා ලෙස ද තේරි පත් වූ අතර ඔවුන් හටද මෙම වර්ණ රාත්‍රියේ දී වර්ණ ප්‍රදානය කරනු ලැබීය.

තවද, දුනු ශිල්ප, මළල ක්‍රීඩා, බැඩ්මින්ටන්, බේස් බෝල්, බාස්කට් බෝල්, බිලියඩ් සහ ස්නූකර්, කැරම්, බොක්සින් (Boxing), ක්‍රිකට්, බයිසිකල් ධාවන තරඟ, එල්ලේ, ජිම්නාස්ටික්, දැල් පන්දු, පැරා ක්‍රීඩා, හෑන්ඩ් බෝල් (Handball), හොකී, ජූඩෝ, කබඩි, කරාටි, මෝටර්රථ ක්‍රීඩා, බර ඉසිලීම, සවි එසවිම් සහ කාය වර්ධන ක්‍රීඩා, ඔරු පැදීමේ තරඟ, ඉලක්කයට වෙඩි තැබීමේ තරඟ, පාපන්දු, ස්කොෂ්, පිහිනීමේ සහ වෝටර් පෝලෝ (Water Polo) තරඟ, පැරෂුට් තරඟ, රගර්, පා පන්දු, ටෙනිස්, මේස පන්දු, ටයිකොන්ඩෝ, මල්ලවපොර තරඟ, වූෂූ සහ අත්පන්දු තරඟාවලීන්හී දක්‍ෂතා දැක්වූ විශිෂ්ඨයින් හටද මෙහිදි වර්ණ ප්‍රදානය කෙරිණි.

විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු මැතිතුමන් සහ ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ, හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරාල් (විශ්‍රාමික) සී.එස්. වීරසූරිය, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා සේනාවිධායක මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ජයග්‍රාහකයින් හට වර්ණ ප්‍රදානය කිරීම සඳහා සහභාගී වූහ. උත්සව කටයුතු අවසන්වීමට ප්‍රථම, ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අනුර සුදසිංහ විසින් ස්තූති කථාව සිදුකරනු ලැබීය.

තවද, මෙම අවස්තාව සඳහා ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරින්, ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරින්, නිලධාරින් සහ ඔවුන්ගේ භාර්යාවන්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සම්මානලාභී ක්‍රීඩක/ක්‍රීඩිකාවන්ගේ ඥාතීන් මෙන්ම සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක්ද සහභාගී වූහ. Best Sneakers | Nike