Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th January 2025 21:50:05 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී දළඳා මාලිගාවේ සහ මල්වතු මහනායක හිමිපාණන්ගේ ආශිර්වාද ලබාගනි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී 2025 ජනවාරි මස 04 දින මහනුවර, ශ්‍රී දළඳා මාලිගාව වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 25 වන යුද්ධ හමුදාධිපති වශයෙන් අභිනවයෙන් පත් වූ ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව ප්‍රථම වරට ශ්‍රී දළඳා මාලිගාව වැඳපුදාගනු ලැබීය. ශ්‍රී දළඳා මාලිගාවේ පරිපාලන ලේකම් විසින් සංචාරයේ නිරත යුද්ධ හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව, ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමන්පිච්ච මල් වට්ටියක් පිළිගන්වමින් දළඳා මාලිගා පරිශ්‍රය වෙත එතුමන් පිළිගනු ලැබීය. පසුව, ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිලමේතුමන් සහ යුද්ධ හමුදාධිපතිතුමන් සමරු තිළිණ හුවමාරු කරගනු ලැබීය. අනතුරුව, ශ්‍රී දළඳා මාලිගාවේ නිලධාරින් සමඟින් යුද්ධ හමුදාධිපතිතුමන් දන්ත ධාතූන් වැඳපුදාගත්හ.

ශ්‍රී දළඳා මාලිගාව වන්දනාමාන කරගැනීමෙන් අනතුරුව මල්වතු මහා විහාරයේ සංචාරයක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන් මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. එහිදී, මල්වතු පාර්ශවයේ මහනායක හිමිපාණන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ආශිර්වාද කිරීමෙන් අනතුරුව සුහඳ පිළිසඳරක නිරතවිය.

මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.