Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd May 2024 17:44:05 Hours

ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන්ට එම බලසේනාවේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 මැයි මස 20 දින කොස්ගම පිහිටි එම බලසේනා මූලස්ථානයේදී පැවැත්විණි.

මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි සේනාවිධායකතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම බලසේනාවේ වැඩබලන නියෝජ්‍ය සේනාවිධායක සහ පුහුණු පරීක්‍ෂක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ජී.පී. සිසිර කුමාර ආර්එස්පී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව, ධූරයෙන් නික්ම යෑම සනිටුහන් කරමින් නිල ලේඛනයකට අත්සන් තැබූ මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ එම මූලස්ථානයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය. පසුව, එම මූලස්ථාන පරිශ්‍රයේ ස්ථාපිත කළ එතුමන්ගේ ඡායාරූපය නිරාවරණය කළ නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් එම මූලස්ථාන කාර්ය මණ්ඩලය සමඟින් සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය.

මෙම අවස්ථාවේදී භටපිරිස් ආමන්ත්‍රණය කළ මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ මතකාවර්ජනය කළ අතර එතුමන්ගේ සේවා කාලය තුළ ලබාදුන් සහයෝගය වෙනුවෙන් භටපිරිස් වෙත සිය කෘතඥතාව පුදකරමින් එම බලසේනාවේ මීළඟ සේනාවිධායකතුමන් වෙනුවෙන් ද එම සහයෝගය ලබාදෙන මෙන් ප්‍රකාශ කරනු ලැබීය. අනතුරුව, සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ එතුමන් භටපිරිස් සමඟ සුහඳ අදහස් හුවමාරුවක ද නිරතවිය.

එදින සන්ධ්‍යාවේ, මත්තේගොඩ පිහිටි Sappers’ Leisure Bay හෝටලටයේදී ධූරයෙන් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත ගෞරවාචාර පුදකරමින් රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පි වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය. මෙම අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්ව සිටියහ.