Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd May 2024 06:44:25 Hours

ශ්‍රී ලංකා සේවා මුක්ත භටසංගමයේ නව මූලස්ථාන ගොඩනැගිල්ල අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කරයි

කොළඹ, ශ්‍රී ජයවර්ධනපුරදී ස්ථාපනය කරනු ලැබූ ශ්‍රී ලංකා සේවා මුක්ත භටසංගමයේ (SLESA) නව මූලස්ථාන ගොඩනැගිල්ල, සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2024 මැයි මස 22 දින පැවති උත්සවයේදී විවෘත කරනු ලැබීය.

උත්සව අවස්ථාවට ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ ආර්එස්පී වීඑස්වී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගි වූහ.

විවෘත කරනු ලැබූ සේවා මුක්ත භටසංගම් නව මූලස්ථාන දෙමහල් ගොඩනැගිල්ල තුල සම්මන්ත්‍රණ ශාලාවක්, සමාජ ශාලාවක්, සභා ශාලාවක්, නිවස්නයකින් සහ කාර්යාල සංකීර්ණයකින් සමන්විත වේ. මෙහි ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාවේ භටපිරිස් විසින් සිදු කරන ලදී.

මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි අතිගරු ජනාධිපතිතුමන් සමරු ඵලකය නිරාවරණය කර නව මූලස්ථාන සංකීර්ණය විවෘත කල අතර, අනතුරුව රැස්ව සිටි පිරිස සමගින් එම සංකීර්ණයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත විය.

ශ්‍රී ලංකා සේවා මුක්ත භටසංගමයේ සභාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ජී.එම්.යූ.ආර් පෙරේරා (විශ්‍රාමික) උත්සවයේ කටයුතු ආරම්භ කරමින් පිළිගැනීමේ කථාව සිදුකරනු ලැබූ අතර, අනතුරුව උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි අතිගරු ජනාධිපතිතුමන් විසින් පැමිණ සිටි පිරිස ආමන්ත්‍රණය කළේය. එම අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකා සේවා මුක්ත භටසංගමයේ සභාපතිතුමන් අතිගරු ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීය. පසුව එම සංගමයේ මහලේකම්තුමන් ස්තුති කථාව පැවැත්වීය. උත්සව කටයුතු අවසන් කරමින් පැමිණ සිටි පිරිස ප්‍රධාන ආරාධිත අමුත්තා සමඟින් සමූහ ඡායාරූපයක් සඳහාද පෙනී සිටියහ.