Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th October 2022 18:27:45 Hours

‘සමගිය ශක්තියයි’ තේමා පාඨය පෙරදැරිව ගජබා රෙජිමේන්තුවේ අභිමානවත් 39 වැනි සංවත්සර දිනය සමරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්තිමත් පාබල රෙජිමේන්තුවක් වන ගජබා රෙජිමේන්තුවේ සංවත්සර දිනය සෑම වසරකම ඔක්තෝබර් මස 14 වන දිනට යෙදෙන අතර, ඒ අනුව මෙවරද අභිමානවත් වූ එම රෙජිමේන්තුවේ 39 වැනි සැමරුම් උත්සවය ඔක්තෝබර් මස 14 වන දින අභිමානවත් අයුරින් සමරනු ලැබීය. එහිදී දේශය ආරක්‍ෂා කිරීම සඳහා එක පවුලක් ලෙස දැක්වූ දායකත්වය පිළිබිඹු කරමින් ඔවුන්ගේ මතයකයන් අවර්ජනය කරයි.

ඒ අනුව දිවයිනේ සෑම ප්‍රදේශයකම සේවයේ නියුතු ගජබා රෙජිමේන්තු සාමාජිකයින් සිය සංවත්සර දිනය මහත් හරසරින් යුතුව සමරනු ලබයි. දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්න විසින් ආරම්භ කරන ලද යුද්ධ හමුදාවේ කීර්තිමත් පාබල රෙජිමේන්තුවක් වන මෙම රෙජිමේන්තුවේ 39 වන සංවත්සර සැමරුම් උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමෙින්තුවේ අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී වූහ.

ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කේ.ආර් කළුපහන ආර්එස්පී යූඑස්පී විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමූහ. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්නගේ පිළිරුවට පුෂ්පෝපාහාර දක්වන ලදී.

අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන්, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.ටී.ඩබ්ලිව් විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී විසින් එම රෙජිමේන්තුවේ සරඹ භූමියේ ප්‍රධාන පීඨිකාව වෙත කැටුව යනු ලැබීය. එහිදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනමනු ලැබූ අතර, පසුව සරඹ පෙළපාලියේ අණදෙන නිලධාරී විසින් හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය මධ්‍යයේ සරඹ පෙළපාලිය නිරීක්‍ෂණය කරන ලෙස ප්‍රධාන පීඨිකාවේ රුදී සිටි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ආරාධනා කරනු ලැබීය.

ඉන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් රෙජිමේන්තුවේ සියළු භටපිරිස් අමතමින් වසර 39 කාලයක් මුළුල්ලේ ගජබා රෙජිමේන්තුව පැමිණි අභියෝගාත්මක ගමන්මග සහ එම රෙජිමේන්තුවේ සාමාජිකයින් මාතෘ භූමිය වෙනුවෙන් කළ කැපකිරීම පිලිබඳව සිහිපත් කරන ලදී. එහිදී, මාතෘ භූමිය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ පරිත්‍යාගයට ඉහළම ගෞරවය පුද කළ අතර, රණක්‍ෂිතයට පත්ව සිටින සහ සුවය ලබා පුනරුත්ථාපනය වන රණවිරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.

සම්මාන පෙළපාලිය අවසානයේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මෙම සැමරුම් උත්සව අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ නා පැළයක් රෝපණය කරන ලද අතර, ඉන් අනතුරුව සමූහ ඡායාරූපයකටද පෙනී සිටින ලදී. අනතුරුව පැවති සියළු දිවා භෝජන සංග්‍රහයෙන් පසුව සංවත්සර සැමරුම් උත්සවයේ වැඩකටයුතු අවසන් විය.

මෙම සංවත්සර සැමරුම් උත්සවය සඳහා ගජබා රෙජිමේන්තුවේ මන්ත්‍රණ සභාවේ සමාජිකයින්, සේවා මුක්ත භට සංගයේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රණක්‍ෂිතයට පත් රණවිරුවන් සහ සෙසු නිලයින් රැසක් සහභාගී වූහ.

බෙදුම්වාදී ත්‍රස්ථවාදීන් විසින් සිවිල් වැසියන් සහ හමුදා සාමාජිකයන් ඉලක්ක කරමින් ඔවුන්ගේ ප්‍රචණ්ඩ සහ ම්ලේච්ඡ ප්‍රහාර හමුවේ එවකට එම ත්‍රස්ථවාදීන්ට නොබියව මුහුණ දිය හැකි ආකාරයේ පාබල රෙජිමේන්තුවක ඇති අවශ්‍යතාවය මත 1 වන රජරට රයිෆල් බළඇණිය සහ 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුව ඒකාබද්ධ කිරීමෙන් පසුව, දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්නගේ දූරදර්ශී නායකත්වයෙන් යුතුව 1983 ඔක්තෝම්බර් 14 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට නව පාබල රෙජිමේන්තුවක් ලෙස ගජබා රෙජිමේන්තුව ආරම්භ කරන ලදී.

ගජබා රෙජිමේන්තුවේ ප්‍රථම අණදෙන නිලධාරි ලෙස කටයුතු කළ ලුතිතන් කර්නල් විජය විමලරත්නගේ නායකත්වය යටතේ ‘සමගිය ශක්තියයි’ තේමා පාඨය පෙරදැරිව ‘ගජබා’ යන නාමයෙන් මෙම රෙජිමේන්තුව ස්ථාපිත කළ අතර දල ඇතෙකුගේ ශක්තියට හා යුද කුසලතාවයට අභියෝග කළ හැකි ශාරීරික ශක්තියකින් හෙබි රජෙකු ලෙස විරුධාවලිය ලත් ගජබා රජුට උපහාරයක් වශයෙන් ‘ගජබා’ යන නාමය මෙම රෙජිමේන්තුවේ නාමය වශයෙන් තෝරාගනු ලැබීය.