Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th March 2021 18:37:33 Hours

‘Shake Hands - 1’ යුද අභ්‍යාසය පාකිස්තාන හමුදාව සමඟ සාලියපුරදී ඇරඹේ

'අභ්‍යන්තර ආරක්‍ෂාව සහ ප්‍රති විප්ලවවාදී යුද උපක්‍රම’ පිළිබඳ නවීනතම යුද අභ්‍යාසය වන ‘Shake Hands - 1’ යුද අභ්‍යාසය බහුවිධ කුසලතා සහිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් සහ පකිස්තාන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පසුගිය බදාදා (17) දින උදෑසන සාලියපුර ගජබා රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේදී ආරම්භ විය. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් සංකල්පීය මඟපෙන්වීම මත මෙම අභ්‍යාසය ද්වීපාර්ශවීය පුහුණු වැඩසටහනක් ලෙස ආරම්භ කරන ලදී.

මෙම ක්‍ෂෙත්‍ර පුහුණු අභ්‍යාසය සඳහා සහභාගීවන පාකිස්තාන හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස්වල අණදෙන නිලධාරීන් දෙරට හමුදාවන් අතර දීර්ඝ කාලයක් පුරා පැවත එන මිත්‍රත්වය හා ද්විපාර්ශික සම්බන්ධතා තහවුරු කරනු වස් දෙරටේ ජාතික ධජයන් එකිනෙකට හුවමාරු කරගත්හ. දෙරටේ ජාතික ගී ගායනයෙන් පසු දෙරට පිළිබඳ හැඳින්වීමක් සිදු කෙරිණි. පසුව, ක්‍ෂෙත්‍ර පුහුණු අභ්‍යාසයේ අරමුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව සියලුදෙනා සමූහ ඡායාරූපයක් සඳහා පෙනීසිටියහ.

උපාය මාර්ගික යුද මෙහෙයුම්, අභ්‍යන්තර ආරක්‍ෂාව සහ ප්‍රතිවිප්ලවවාදී යුද උපක්‍රම, ත්‍රස්තවාදයට / අන්තවාදයට එරෙහි ඒකාබද්ධ යුදමය ප්‍රහාර, ආරක්‍ෂාව හා ලුහුබැඳීම, ත්‍රස්තවාදීන් සැඟවුණු ස්ථාන සොයා ප්‍රහාර එල්ල කිරීම, මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහ පුපුරණ ද්‍රව්‍ය හඳුනා ගැනීම, ත්‍රස්තවාදීන්ගේ බුද්ධි තොරතුරු එක්රැස් කිරීම, කැරලිකරුවන් පිළිබඳ ඔත්තු බැලීම, ප්‍රහාර සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම යනාදිය විෂය පථයන් යටතේ ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සහභාගීත්වයෙන් මෙම අභ්‍යාසය 2021 මාර්තු මස 31 දින දක්වා පැවැත්වීමට නියමිතය. විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් මෙම අභ්‍යාසයේ නිරීක්‍ෂකයින් ලෙස කටයුතු කරති.

පාකිස්තාන යුද්ධ හමුදාවේ නිලධාරීන් හය දෙනෙකු සහ සෙසුනිලයන් 35 ක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරීන් 4 දෙනෙකු සහ සෙසු නිලයන් 40 දෙනෙකුගෙන් සමන්විත මෙම අභ්‍යාසය ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් පවත්වනු ලබයි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන මෙම ‘Shake Hands - 1’ යුද අභ්‍යාසය අධ්‍යක්‍ෂකවරයෙකු, නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයෙකු, අභ්‍යාස පාලකවරුන්, නිරීක්‍ෂකයන්, නිරීක්‍ෂකයින් දෙදෙනෙකු සහ එක් භඨකාර්ය සම්පාදන නිලධාරියෙකු යටතේ සිදුකරනු ලබයි.

පාකිස්තාන හමුදා කණ්ඩායම ඔවුන්ගේ සංවිධානාත්මක ව්‍යුහය, සිවිල්-හමුදා සම්බන්ධතාවය, ත්‍රස්තවාදීන්ට එරෙහි යුද උපක්‍රම, ත්‍රස්ත ප්‍රහාර සහ ප්‍රති ප්‍රහාරයන් පිළිබඳ පාකිස්තාන හමුදාවේ අත්දැකීම්, ආපදා ආශ්‍රිත මෙහෙයුම්, ත්‍රස්තවාදී සැඟවුණු ස්ථාන වැටලීම්, බුද්ධි තොරතුරු රැස් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමට මෙම අභ්‍යාසය තුළින් අපේක්ෂා කෙරේ. යුද අභ්‍යාසය බ්‍රහස්පතින්දා (18) දින ආරම්භ වේ.

සමස්ත අභ්‍යාසයේ අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩිර් සංජීව ප්‍රනාන්දු කටයුතු කරන අතර, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ලෙස කර්නල් ඩබ්ලිව්.එස්.එල් හේමරත්න කටයුතු කරයි.

ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පැවැති අභ්‍යාසයේ සමාරම්භක උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් වෙනුවෙන් අධ්‍යක්‍ෂ ජෙනරල් පාබල හමුදා මේජර් ජෙනරල් තිලක් හංගිලිපොල සහභාගි වුයේය.

පාකිස්තානු හමුදා සාමාජිකයින් ශ්‍රී ලංකාවේ රැඳි සිටින කාලය තුල මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය සහ තවත් වැදගත් ස්ථාන කිහිපයක නිරීක්‍ෂණ චාරිකාවක නිරතවීමට නියමිතය. Mysneakers | Patike