Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th January 2022 20:46:44 Hours

හරිත කෘෂිකර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් සමඟ එක්ව 2022 යල කන්නය සඳහා කාබනික පොහොර නිෂ්පාදනයේ ජාතික ව්‍යාපෘතිය අරඹයි

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත දීපව්‍යාප්ත කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා මුලිකත්වය ගෙන කටයුතු කිරීමට පසුගියදා රාජගිරිය ප්‍රදේශයේ ආරම්භ කරන ලද හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී අද (05) දින පස්වරුවේ ප්‍රථම සාකච්ඡාව පැවැත්විණි.

එම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරු, හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, හරිත කෘෂිකර්මය සඳහා වු ජනාධිපති කාර්ය සාධක බලකායේ නිලධාරින්, දිවයින පුරා සිටින කෘෂිකාර්මික කටයුතු පිළිබඳ ප්‍රවීණයන් ඇතුළු ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් රැසක් සහභාගි වූහ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක මහතා, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.රණසිංහ මහතා සහ හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් මුලසුන හෙබවු මෙම සාකච්ඡාවේදී පැමිණ සිටි සියලුදෙනා පිළිගත් හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම සාකච්ඡාවේ අරමුණ පැහැදිලි කළේය.

හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති ආරම්භක සාකච්ඡාවට කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ආචාර්ය එස්.එච්.එස්. අජන්ත ද සිල්වා මහතා, ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල් අබේරත්න මහතා, කෘෂිකර්ම අමාත්‍යාංශයේ කාබනික කෘෂිකර්ම උපදේශක/ විශේෂඥ ආචාර්ය හේමන්ත විජේවර්ධන මහතා, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ චන්දන ලොකුහේවගේ මහතා, ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති මේජර් (විශ්‍රාමික) විජිත වැලිකල, ජනාධිපති කාර්ය සාධක බලකායේ ලේකම් ජී.එන්. වර්නන් පෙරේරා මහතා, ජනාධිපති කාර්ය සාධක බලකායේ ජෛව කෘෂිකර්ම විද්‍යාඥ ආචාර්ය කසුන් තාරක අමල් මහතා, ලංකා පොහොර සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ප්‍රියන්ත පෙරේරා මහතා, කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ආචාර්ය ජයන්ත වීරරත්න මහතා, ආර්ථික විද්‍යාඥ සහ කෘෂිකර්ම පද්ධති පිළිබඳ විශේෂඥ ආචාර්ය පැට්‍රික් නුගවෙල මහතා, ලංකා කාබනික කෘෂිකර්ම ව්‍යාපාරයේ සභාපති තිලක් කාරියවසම් මහතා, කෘෂිකර්ම තොරතුරු විද්‍යා පර්යේෂක සහ විද්‍යාඥ ජේ.එම්. සූරසේන මහතා, රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සංජීවනී ගිනිගද්දර මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ උපදේශක හා රජරට විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය ආචාර්ය පී.බී. ධරමසේන මහතා සහභාගි වුහ.

හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය 2021 දෙසැම්බර් මස 2 දින ආරම්භ කර අතිගරු ජනාධිපතිතුමන් විසින් එහි ප්‍රධානි ලෙස ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීමෙන් අනතුරුව පැවැත්වු මෙම පළමු සාකච්ඡාවේදී කාබනික හා දියර පොහොර නිෂ්පාදනය කිරීමේ හැකියාව, පොස්පරස් එකතු කිරීමේ අවශ්‍යතාවය, යල කන්නය සඳහා බිත්තර වී නිෂ්පාදනය, නැනෝ නයිට්‍රජන් හා KCL පොහොර භාවිතය, නිපදවන පොහොර සඳහා තත්ත්ව පරික්‍ෂාව, වල් පැලෑටි හා පළිබෝධනාශක සඳහා විකල්ප කෘෂි රසායන භාවිතය, යුද්ධ හමුදාව, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් දැනටමත් නිෂ්පාදනය කර ඇති කාබනික පොහොර තොග එක්රැස් කිරිම, 2022 යල කන්නයේ වී වගාව සඳහා උපාය මාර්ගික මාර්ගෝපදේශ නිකුත් කිරීම, බෝග වගාවන් සඳහා කාබනික හා දියර පොහොර අවශතාවය පරිදි නිෂ්පාදනය කිරිම, ගොවිජන නිලධාරීන් හා ගොවි ජනතාව සඳහා කාබනික පොහොර භාවිතය පිළිබඳ දැනුම හා පුහුණුව වැඩිදියුණු කිරීම, කාබනික හා ඝණ පොහොර යන දෙකෙහිම නිෂ්පාදන ක්‍රියාවලීන්ගේ පැවැත්ම සඳහා දිර්ඝ කාලීනව අවශ්‍යවන අමුද්‍රව්‍ය හා සම්පත් ලබාදෙමින් ව්‍යාපෘති ආරම්භ කිරීම සහ පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳ සාකච්ඡාවට බදුන්විය.

එළඹෙන යල කන්නයේ කාබනික පොහොර භාවිතය සඳහා යෙදිය හැකි ක්‍රමෝපායන් පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී සමාලෝචනය කරන ලද අතර ඒ සඳහා දැඩි මාර්ගෝපදේශ නිකුත් කරමින් දියර හා ඝන පොහොර වශයෙන් අතිරේක විසඳුම් දෙකක් ඉදිරිපත් කළේය. එසේම, කාබනික පොස්පේට් පොහොර භාවිතයට සමගාමීව හරිත කෘෂිකාර්මික සංකල්පය සමඟින් 2022 යල කන්නය සඳහා අවශ්‍ය සමස්ත පොහොර ප්‍රමාණය නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් සියලුම පාර්ශ්වකරුවන් සමඟ ප්‍රායෝගිකව ගවේෂණය කරමින් සාකච්ඡා කළහ.

නැනෝ නයිට්‍රජන් දියර පොහොර, වල්නාශක සහ පළිබෝධනාශක සඳහා පවතින අවශ්‍යතාව, උසස් තත්ත්වයෙන් දැනටමත් නිෂ්පාදනය කර ඇති කාබනික පොහොර තොග එක්රැස් කිරීම සහ අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීම සඳහා උපාය මාර්ගික මාර්ගෝපදේශ සකස් කිරීම ඇතුළු අවධානය යොමු කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර 12 ක් යටතේ මෙහිදි පුළුල් ලෙස සාකච්ඡාවන් සිදුකරන ලදී.

හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදා කඳවුරු පරිශ්‍රයන් තුළ පිහිටි භූමි ප්‍රමාණයන් සම්පූර්ණයෙන්ම භාවිතා කරමින් සිදුකරනු ලබන කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය, ජාතික මෙහෙවරට දැනටමත් දායකත්වය ලබාදී ඇති අතර එමගින් ඉදිරි මාසවල විශාල වශයෙන් නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි කිරීමට අපේක්‍ෂා කරයි.

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලෙස කටයුතු කරන ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මීට පෙර, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්වත මධ්‍යස්ථාන ප්‍රධානි ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් මෙහෙයවමින් කොවිඩ්-19 වෛරසය දිවයින පුරා පැතිරයාම පාලන කිරීමේ අභයෝගය භාරගත්හ.