Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd November 2019 13:00:50 Hours

හමුදා ගෞරවාචාර මධ්‍යයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකදී අතිගරු ජනාධිපතිතුමන් රාජකාරී භාරගනී

මාතෘභූමියේ අනාගත සමෘද්ධිය, ආරක්‍ෂාව, සංහිඳියාව සහ තිරසාර සංවර්ධනය සඳහා නව යුගයක් නිර්මාණය කිරීමේ දූරදර්ශී අරමුණ පෙරදැරීව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වන විධායක ජනාධිපති මෙන්ම සන්නද්ධ හමුදා සේනාධිනායක ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් අද (19) දින උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී ත්‍රිවිධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ ආගමික වතාවත් වලට මුල්තැනක් දෙමින් රාජකාරී ආරම්භ කරයි.

මෙම අවස්ථාවට සන්නද්ධ රථ පෙළපාලියකින් සපැමිණි අතිගරු ජනාධිපතිතුමන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, ජනාධිපති ලේකම් සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව සම්ප්‍රදායික වෙස් නර්තන ශිල්පීන් අතිගරු ජනාධිපතිතුමන්ව ජනාධිපති කාර්යාල සංකීර්ණයේ ප්‍රධාන දොරටුව වෙත කැටුව යන ලදී.

අනතුරුව පෙළපාලියේ අණදෙන්නා විසින් හමුදා සම්ප්‍රදායානුකූලව අතිගරු ජනාධිපතිතුමන් වෙත රපෝර්තු කරන ලදි. පසුව සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවය සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමා වෙත පුද කරනු ලැබීය. අනතුරුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර සී විජේගුණරත්න ඇතුළු ත්‍රිවිධ හමුදා ප්‍රධානින් එතුමන් වෙත ඔවුන්ගේ ගෞරවාචාරය පිරිනමනු ලැබු අතර එහිදි නව අතිගරු ජනාධිපතිතුමන් සිය කාර්යාල පරිශ්‍රයට ඇතුළු වීමට පෙර චාරිත්‍රානුකූලව කාලතුවක්කු වෙඩි මුර 21 ක් ගුවනට මුදා හරිමින් රාජ්‍ය නායකයා වෙත ගෞරව දැක් වූහ. තවද දශක ගණනාවකට පෙර නව ජනාධිපතිතුමන් හමුදා නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිටි ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් ඇතුළු නාවික හා ගුවන් හමුදා භටයින් විසින් එතුමන් වෙත ගෞරවාචාර දක්වන ලදී.

පසුව ජනාධිපති කාර්යාලයේදී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හිමියන්, පූජ්‍ය ඕමල්පේ සුමනරතන හිමියන්, පූජ්‍ය ගැටමාන්නේ ඥාණානන්ද හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් ‘සෙත් පිරිත්’ සජ්ඣායනාවක් කරමින් නව ජනාධිපතිතුමන් වෙත ආශීර්වාද එක් කළහ. අනතුරුව එතුමන් එළඹී සුභ මොහොතින් නිල ලේඛණයට අත්සන් තබමින් කාර්යාලයේ රාජකාරීන් ආරම්භ කළේය. පසුව නව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් නව ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය පී. බී ජයසුන්දර මහතා වෙත සිය පත්වීම් ලිපිය භාර දෙන ලදී.

ජනාධිපති කාර්යාලයේ පැවැති රාජකාරි භාරගැනීමේ කෙටි උත්සවයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙක් සහභාගී වූහ. Best jordan Sneakers | THE SNEAKER BULLETIN