Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th January 2021 14:23:19 Hours

සන්නද්ධ බුද්ධි බලකා පුහුණු පාසල් පරිශ්‍රයේ ඉදිකල නව ගොඩනැගිලි සංකීර්ණය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කෙරේ

කරන්දෙණියේ පිහිටි සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මුලස්ථානයේ නව යටිතල පහසුකම් සංවර්ධනය කරමින් බුද්ධි පුහුණු පාසල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ ප්‍රධාන ගොඩනැගිල්ල අද (15) දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් විවෘත කෙරිණි.

රෙජිමේන්තු මුලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හට ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය (drive-past Guard Turnout) පිරිනැමීමෙන් අනතුරුව සන්නද්ධ බුද්ධි බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම යුද්ධ හමුදා මුලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරල් මේජර් ජෙනරල් ශාන්ත හේවාවිතාරණ විසින් මහත් හරසරින් යුතුව එතුමන් පිළිගත්තේය. පසුව, හමුදා සම්ප්‍රදායානුකූල වර්ණවත් සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය ද යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පිරිනැමීය.

ඉන් අනතුරුව, බුද්ධි බලකා පුහුණු පාසල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ ගොඩනැගිලි සංකීර්ණයේ සමරුඵලකය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් නිරාවරණය කර විවෘත කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නව ගොඩනැගිලි සංකීර්ණය නිරීක්‍ෂණය කළහ. එහිදී, විදේශීය බුද්ධි නිලධාරීන්ගේ ආකර්ශනය දිනාගත් ශ්‍රී ලංකා බුද්ධි බලකායේ කාර්යභාර්ය සහ වගකීම් පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් දැනුවත් කෙරිණි. පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මුලස්ථානයේ සිදුකළ සංචාරය සනිටුහන් කරමින් එම පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

උත්සවයේ පිළිගැනීමේ දේශනය සන්නද්ධ බුද්ධි බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ශාන්ත හේවාවිතාරණ විසින් සිදුකිරීමෙන් අනතුරුව සන්නද්ධ බුද්ධි බලකා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ප්‍රබෝද සිරිවර්ධන විසින් බුද්ධි බලකායේ ඉතිහාසය පිළිබඳ කෙටි විස්තරයක් සිදුකරන ලදී. ඉන් අනතුරුව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සන්නද්ධ බුද්ධි බලකායේ නිලධාරීන් සහ සෙසුනිලයින් ඇමතීය. මෙම සංචාරය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කෙරිණි. පසුව සමුහ ඡායාරූපයකට පෙනී සිටි යුද්ධ හමුදාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයෙන් නික්මයාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් ද තැබීය.

දේශයේ අවශ්‍යතාව පෙරදැරිව 1981 වසරේ යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී කුඩා බුද්ධි කණ්ඩායමක් ලෙසින් ආරම්භ කරන ලද බුද්ධි කණ්ඩය වර්ෂ 1990 ජුනි මස 28 වන දින බුද්ධි බලකායක් ලෙස ආරම්භ කරන ලදී. ‘නැණ රණ ජය’ ආදර්ශ පාඨය පෙරදැරීව වර්ෂ 1993 ජනවාරි මස 25 වන දින ආරම්භ කරන ලද සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය මේ වනවිට ඒකක 8 ක් සහ සන්නද්ධ බුද්ධි පුහුණු පාසලකින්ද සමන්විත වේ.

වර්ෂ 2009 පෙබරවාරි මස 10 වන දින මතුගම පැලවත්ත ප්‍රදේශයේ පුහුණු පාසලක් ලෙස ආරම්භ කරන ලද බුද්ධි බලකා පුහුණු පාසල, වර්ෂ 2020 මැයි මස 18 වන දින යුද්ධ හමුදා ක්‍රියාන්විත ප්‍රතිස්ථාපන සැලැස්ම අනුව පැලවත්ත ප්‍රදේශයේ සිට තාවකාලිකව කරන්දෙණිය ප්‍රදේශයේ පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ස්ථාපිත කිරීමෙන් අනතුරුව රෙජිමේන්තු මධ්‍යස්ථානය ආශ්‍රිතව අක්කර 7 ක භූමියෙහි කඩිනමින් සන්නද්ධ බුද්ධි පුහුණු පාසල ස්ථාපිත කර අද දින විවෘත කෙරිණි. මෙම පුහුණු පාසලේ යුද්ධ හමුදා නිලධාරි සහ සෙසුනිලයන් පමණක් නොව ගුවන් හමුදාව, නාවික හමුදාව, පොලිසිය, ශ්‍රී ලංකා රේගුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ වරාය අධිකාරිය යන අංශයන්හි සාමාජිකයින් ද බුද්ධි පාඨමාලා හදාරනු ලබයි. ඒ පමණක් නොව ඉදිරි වර්ෂ වලදි විදේශීය හමුදාවන් සදහා ද මෙම බුද්ධි පුහුණු පාසල විවෘත කිරීමට අපේක්‍ෂා කෙරේ.

මේ වනවිට බුද්ධි පුහුණු පාසලේ පලවන අධියරේ මුලික අවශ්‍යතා වන දෙමහල් මුලස්ථාන ගොඩනැගිල්ල, දෙමහල් අධ්‍යන ගොඩනැගිලි 2 ක්, තුන්මහල් ශිෂ්‍ය නිලධාරි නේවාසිකාගාරය, ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරී නේවාසිකාගාරය සහ සෙසුනිල දෙමහල් භඨනිවාසයක් ඉදිකර අවසන් වන අතර ඉදිරියේදී නිලධාරි නිවස්නය, සෙසුනිල දෙමහල් භඨනිවාසය, ශ්‍රවණාගාරය හා සුභසාධක ගොඩනැගිලි සංකිර්ණය ඉදිකිරිමට නියමිතව ඇත.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් ද එක්ව සිටියහ. Best jordan Sneakers | Sneakers