Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th November 2019 17:54:59 Hours

ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිතුමන් එකම ධජයක් යටතේ සියලුදෙනා එක්සත් කිරීමට සහතික වෙමින් පූජනීය ‘රුවන්වැලි මහා සෑරඳුන්’ අභියසදී දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපති ධූරයට පත්වූ සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ දිවුරුම්දීමේ උත්සවය අද (18) දින උදෑසන දකුණු ඉන්දීය ආක්‍රමණිකයා වන එලාර පරාජය කරමින් මුළු රටම එක්සේසත් කළ දුටුගැමුණු මහ රජතුමා විසින් ඉදිකරන ලද පූජනීය රුවන්වැලි මහා සෑරඳුන් අභියසදී පැවැත්විණි.

භික්‍ෂුන් වහන්සේලා, ප්‍රධාන ආගමික පූජකවරුන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, අයෝමා රාජපක්‍ෂ මැතිණිය, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, රාජ්‍ය තාන්ත්‍රිකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සහ සුභපතන්නන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම රාජ්‍ය උත්සවය අතිගරු ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව ආරම්භ විය. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් රුවන්වැලි මහා සෑ මළුවට පැමිණිමට ප්‍රථම පූජනීය ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ආශිර්වාද ලබාගත්හ.

උණුසුම් පිළිගැනීමකින් අනතුරුව, තේරීපත්වූ නව ජනාධිපතිතුමන් රුවන්වැලි මහ සෑ මළුවේ පිහිටි බුද්ධ මන්දිරය වෙත පැමිණ බුදුන් වහන්සේට මල් පහන් පූජා කළේය. මල්වතු පාර්ශයේ අති පූජ්‍ය ආචාර්ය නියන්ගොඩ විජිතසිරි අනුනායක හිමිපාණන්, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක පුජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමිපාණන්, අටමස්ථානාධිපති අති පූජ්‍ය පල්ලේගම ශ්‍රීනිවාසාභිධාන නායක හිමිපාණන්, රුවන්වැලි මහා සෑයේ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම ශ්‍රී හේමරතන හිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නය, කතෝලික, හින්දු හා ඉස්ලාම් පූජකවරුන් ඇතුළු ආගමික පූජකවරුන් සියගණනක් නව ජනාධිපතිතුමන්ට ආශිර්වාද එක් කිරීම සඳහා රුවන්වැලි මහා සෑරඳුන් අභියසට පැමිණ සිටියහ.

ඉන් අනතුරුව, තේරී පත්වූ නව ජනාධිපතිතුමන් අයෝමා රාජපක්‍ෂ මැතිණිය සමඟින් චාරිත්‍රානුකූලව දිවූරුම්දීමේ අවස්ථාව සඳහා විශේෂ පීඨිකාව වෙත පැමිණියහ. අතිගරු ජනාධිපතිතුමන් අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුමදීම සිදු කළ අතර ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතා ජනාධිපති දිවුරුම් ප්‍රකාශය කියවීමෙන් අනතුරුව අතිගරු ජනාධිපතිතුමන් ද ජනාධිපති දිවුරුම් ප්‍රකාශය කියවිය. සුභ මොහොත උදාවත් සමඟ ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාධිපතිවරුන් ඉදිරියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පක්‍ෂපාතිව දිවූරුම්දුන් අතර ඉන් අනතුරුව, 7 වන විධායක ජනාධිපති මෙන්ම සන්නද්ධ හමුදා සේනාධිනායක ලෙස අතිගරු ජනාධිපතිතුමන් සංකේතාත්මකව නිල ලේඛණයකට අත්සන් තැබීය.

ජාතිය ඇමතූ නව ජනාධිපතිතුමන් මවුබිම පිළිබඳ සිය පැහැදිලි දැක්ම සවිස්තරාත්මකව පැහැදිලි කළ අතර අවශ්‍ය විටෙක තම විධායක බලතල මාතෘභූමියේ ප්‍රයෝජනය සඳහා යොදා ගැනීමට පොරොන්දු විය. “මම මගේ මාතෘ භූමියට ආදරය කරන අතර එය සමෘද්ධිය කරා ගෙනයාමේ දැක්මක් ඇත. අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලි කර ඇති පරිදි ජනතාවගේ මෙම ඓතිහාසික ජනවරමට ගරුකර මම නව රජයක් පිහිටුවමි. ඒ තුළින් මා තෝරාපත් කරගත් ජනතාවගේ අභිලාෂයන් කරා ළඟාවිය හැකිය. සාර්ථකවීමට කළ නොහැකි දෙයක් නැත.”

“මේ රටේ බහුතරය වන සිංහලයන් මට විශාල වශයෙන් ඡන්දය දුන්නේ මා මේ රටේ ජාතික ආරක්‍ෂක අවශ්‍යතාවන්ට ප්‍රමුඛත්වය දෙනු ඇතැයි ඔවුන් විශ්වාස කරන බැවිනි. ත්‍රස්තවාදය, පාතාල අපරාධ, මත්ද්‍රව්‍ය උවදුර, කාන්තාවන්ට හා ළමයින්ට එරෙහි හිංසනයෙන්ගෙන් තොර රටක් මම සහතික කරමි. රාජ්‍යයක් ලෙස අප අපගේ සියලු ලෝක බලවතුන් සහ ජාත්‍යන්තර මිතුරන් අතර මධ්‍යස්ථව සිටිමු. අපගේ සියලු විදේශීය මිතුරන් ශ්‍රී ලංකාවේ ඒකීයභාවයට සහ එහි ජනතාවගේ ස්වෛරීභාවයට ගරු කරනු ඇතැයි මම අපේක්‍ෂා කරමි. සාරවත් සංස්කෘතික හා ආගමික ගති ලක්‍ෂණ ඇති ශ්‍රී ලංකාව බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුළින් මෙම ජාතියට සමාජ සාධාරණත්වය, නීතිගරුක ස්වභාවය, සදාචාරාත්මක අයිතිවාසිකම් සහ සාරධර්ම තෑගි කර ඇත. මම දකුණේ ඉපදී, රටේ ප්‍රමුඛතම බෞද්ධ පාසලක් වන කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබුවෙමි. එය සිංහල බෞද්ධ සංස්කෘතියේ සාරධර්ම හා රටේ යහපැවැත්ම සඳහා එහි වැදගත්කම මට කියා දුන්නේය. මෙම සම්ප්‍රදායෙන් ආඩ්‍ය සිංහල සංස්කෘතිය මෙන්ම එහි පැරණි උරුමය අප විසින් ආරක්‍ෂා කළ යුතුය.  අපේ සාමාන්‍ය ග්‍රාමීය මුතුන් මිත්තන්ගෙන් පෝෂණය වූ පාරම්පරික වටිනාකම ආරක්‍ෂා කළ යුතුය. සහජිවනයට කැමති සියලුදෙනා සමෘද්ධිමත් බෞද්ධ සාරධර්ම මත පදනම්ව මේ රටේ ප්‍රධාන සමාජ-සංස්කෘතික පදනමට එකතු කර ගත යුතුය. අප සියලු දෙනා එක්ව සිටින තාක්කල් ජනාධිපති ලෙස රටේ සිටින ඔබ සියලු දෙනා ආරක්‍ෂා කිරීමට පොරොන්දු වෙමි.” යනුවෙන් අතිගරු ජනාධිපතිතුමන් පැවසීය.

“මැතිවරණ සමයේදී අප විරුද්ධවාදීන්ට චෝදනා නොකර පෝස්ටර්, බැනර් ආදිය ප්‍රදර්ශනයෙන් තොරව නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කළෙමු. රාජ්‍ය යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමෙන් පසු රටේ නීතිය යලි ස්ථාපිත කිරීම සහ සියලුම දූෂණ කටයුතු ඉවත් කිරීමට අවශ්‍ය වේ. කුසලතා හා දැනුම මත පදනම් වූ තාක්‍ෂණයෙන් පිරුණු හා විපුල ආදර්ශයක් සැපයීමෙන් රටේ තරුණ තරුණියන් අතර වෘත්තීයභාවය හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම තුළින් ඔවුන් දිරිමත් කළ යුතුය.”

“මවුබිමේ ජනතාවට සේවය කිරීමේ අධිෂ්ඨාන සහගත අරමුණ ඇතිව 21 වන සියවසේ අභියෝගයන්ට ගැලපෙන තාක්‍ෂණික දැනුම තරුණ පරම්පරාවට ලබාදිය යුතු අතර එම වගකීම් ඉටු කරන අතරම සියලු ජනතාවගේ ජනාධිපතිවරයා වශයෙන් නවීන තාක්‍ෂණික අවශ්‍යතා හා අභිලාෂයන් පුළුල් කිරීම ජාතියේ ප්‍රයෝජනය සඳහා හොඳින් සැලකිලිමත් විය යුතුය.” යනුවෙන් නව ජනාධිපතිවරයා ජාතිය අමතමින් පැවසීය.

අතිගරු ජනාධිපතිතුමන්ගේ ජීව දත්ත තොරතුරු පහතින් දැක්වේ;

වර්ෂ 1949 ජූනි මස 20 වන දින මාතර දිස්ත්‍රික්කයේ පාලටුව ප්‍රදේශයේ උපත ලැබු නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහෝදර සහෝදරියන් නවදෙනෙකුගෙන් යුක්ත පවුලේ පස්වැනියා විය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය දකුණු ග්‍රාමීය ප්‍රදේශයේ හැදී වැඩුණු එතුමන් කොළඹ ආනන්ද විද්‍යාලයෙන් සිය ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය හදාරන ලදී.

ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ දේශපාලනය හා සම්බන්ධ පවුලක් වන රාජපක්‍ෂ පවුල තුල රටට සේවය කිරීමේ අවශ්‍යතාවය කුඩා කල සිටම පැවති අතර එම විශ්වාසය සිය දරුවන් තුලද ඇති කරන ලදී. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පියා වන ඩී.ඒ. රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ දේශපාලඥයෙක් පමණක් නොව ස්වාධීන උද්ඝෝෂකයෙකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම විජයනන්ද දහනායක ගේ රජය යටතේ නියෝජ්‍ය කථානායක සහ කෘෂිකර්ම හා ඉඩම් කැබිනට් අමාත්‍යවරයා ලෙස ද සේවය කළේය. රාජපක්‍ෂ පරම්පරාවේ දරුවන් කිහිපදෙනෙකු තම පියාගේ අඩිපාරේ යමින් මහජනතාවට සේවය කිරීම සඳහා දේශපාලනය කෙරෙහි උනන්දුවක් දක්වා ඇත. ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ වැඩිමහල් සහෝදරයා වන මහින්ද රාජපක්‍ෂ මහතා වර්ෂ 1970 දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකයෙකු ලෙස ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරීපත් වන විට ඔහුගේ වයස අවුරුදු 24 ක් විය.

කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය හැදෑරු ගෝඨාභය රාජපක්‍ෂ මහතා වර්ෂ 1983 දී මදුරාසි විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කළේය. ඊට අමතරව, වර්ෂ 1992 දී කොළඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද සම්පූර්ණ කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත වර්ෂ 2009 දී කොළඹ විශ්ව විද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක් ද පිරිනමන ලදී.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා රාජ්‍ය සේවයට එක්වීමේ අරමුණ ඇතිවූයේ කුඩා කාලයේ සිටම යුද්ධ හමුදාවට බැඳීමට එතුමන් ගත් තීරණයත් සමගිනි. වර්ෂ 1971 දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට කෙඩෙට් නිලධාරියෙකු ලෙස එක්වූ එතුමන් පසුව කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක මෙන්ම ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ඇතුළු තනතුරු රැසක් ද හෙබවා ඇත. තවද, එතුමන් තම යුද්ධ හමුදා සේවා කාලය තුළ දෙමළ ඊලාම් විමුක්ති ත්‍රස්තවාදීන්ගේ ත්‍රස්ත කණ්ඩායම් වලට එරෙහි පැවති මෙහෙයුම් වලදී යුද පෙරමුණ ගෙන කටයුතු කරන ලදී. තවද, වර්ෂ 1987 දී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සමඟ වඩමාරච්චි ප්‍රදේශයේ දියත් කළ Liberation මෙහෙයුම සඳහා සහභාගී වූ එතුමන් වර්ෂ 1990 දී පැවති Strike Hard මෙහෙයුම සහ ත්‍රිවිධ බලය මෙහෙයුම් වලදී එම බලඇණියන්ට අණ දුන්නේය. අනතුරුව, ගෝඨාභය රාජපක්‍ෂ මහතා වර්ෂ 1991 දී රණ වික්‍රම පදක්කම සහ රණ ශූර පදක්කමෙන් පිදුම් ලැබීය.

වර්ෂ 1998 දී ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ඇමරිකාවේ පදිංචියට ගියහ. එතුමන් කැලිෆෝනියාවේ ලොයොලා නීති විද්‍යාලයේ පද්ධති පරිපාලකවරයෙකු ලෙස සේවය කළ අතර එහිදී පරිගණක පද්ධති ක්‍රියාත්මක කිරීමේදී වැඩි අත්දැකීම් ලබා ගැනීමට එතුමන්ට හැකි විය. එම අත්දැකීම ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව වැඩි දියුණු කිරීම සඳහා කටයුතු කිරීමට ඇති එතුමන්ගේ ආශාව තවදුරටත් තහවුරු කළේය.

වර්ෂ 2005 දී ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්‍ ධූරයට පත් කරන ලද අතර එහිදී එතුමන් දශක තුනක ත්‍රස්තවාදී යුද්ධය නිමා කිරීම සඳහා සුවිශේෂි කාර්යභාරයක් ඉටු කළේය. ජාතික ආරක්‍ෂාව තවදුරටත් තහවුරු කිරීමට පියවර ගන්නා අතරම එතුමන් මාතෘභූමිය යථා තත්ත්වයට පත් කිරීම කෙරෙහි අවධානය යොමු කළේය. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ වෙරළාරක්‍ෂක බලකාය ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට ගෙන රාජ්‍ය ආයතන සහ දෙපාර්තමේන්තු තුළ පිරිස් බලය වැඩි කිරීම ඇතුළු මුලපිරීම් මාලාවක් සිදු කළහ. එතුමන් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල බිම්බෝම්බ ඉවත් කිරීම, ප්‍රතිසංස්කරණය කිරීම සහ නැවත පදිංචි කිරීම මෙන්ම හිටපු එල්ටීටීඊ සාමාජිකයින් 12,000 ක් පුනරුත්ථාපනය කර සමාජගත කිරීමේ කටයුතු අධීක්‍ෂණය කළේය. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය අංගසම්පූර්ණ විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීමට ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය දායකත්වය දැක්විය. තවද, එතුමන් නායකත්වය හා ශක්තිමත්භාවය, ප්‍රතිපත්තිගරුක රාජ්‍ය තාන්ත්‍රිකභාවය, දශක ගණනාවක් තිස්සේ පැවැති යුද්ධය අවසන් කර ශ්‍රී ලංකාවේ තවදුරටත් සංවර්ධනයට විශාල බාධාවක් වූ ත්‍රස්තවාදයෙන් රට ආරක්‍ෂා කිරීමට උපකාරී විය.

වර්ෂ 2010 දී ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක අමාත්‍යංශය හා නාගරික සංවර්ධනය දෙපාර්තමේන්තුව යන දෙකම එක් කර පුළුල් කරන ලදී. වසර හතරක කෙටි කාලයක් තුළ තිරසාර හා ආකර්ශනීය නාගරික පරිසරයක් පෝෂණය කිරීමෙන් ශ්‍රී ලංකාවේ නගර අලංකාරවත් කිරීමට සහ බොහෝ පුරවැසියන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට ඔහුට හැකි විය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා වියත්මග සංවිධානයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර එම සංවිධානයේ මූලික පරමාර්ථය වූයේ වඩා සුරක්‍ෂිත රටක් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ ශ්‍රී ලංකාවේ ශක්තිමත් ආර්ථිකයක් නැවත ගොඩනැංවීමයි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ එතුමන්ගේ බිරිඳ වන අයෝමා රාජපක්‍ෂ මැතිණියගේ පූතණුවන් මනෝජ් රාජපක්‍ෂ මහතාය. Adidas shoes | Nike