Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st December 2022 19:50:06 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කෙරේ

2009 මැයි මාසයට පෙර පැවති මානුෂීය මෙහෙයුමේදී මාතෘභූමිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නිලධාරීන් 28 දෙනෙකු සහ සෙසු නිලයන් 415 දෙනෙකු සිහිපත් කරමින් ඔවුන් වෙත පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයක් පසුගිය ඉරිදා (27) දින කලත්තෑව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කඳවුරු පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වූහ.

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සංවත්සර සැමරුම් දිනයට සමගාමීව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති සහ යුධ සේවා ලේකම් මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට ගේ උපදෙස් මත එම බලකායේ භටපිරිස් විසින් මෙම රණවිරු සැමරුම් උත්සවය සංවිධානය කරන ලදී.

සන්නාහ සන්නද්ධ බලසේනාවේ ආඥාපති බ්‍රිගේඩියර් ප්‍රියන්ත කාරියවසම් සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් පියල් විජේසිරිවර්ධන විසින් මෙම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුද මෙම උත්සව අවස්තාව වෙනුවෙන් සහභාගී වූහ.

අනතුරුව රණවිරු සැමරුම් උත්සව සඳහා පැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් කිහිප දෙනෙකු විසින් රණවිරු ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර පුදකරනු ලැබීය. එහිදී මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට සමඟින් එම පවුල්වල සාමාජිකයින් සුහද පිළිසදරකද යෙදිණි.