Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th September 2020 13:24:02 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදා ධජයන්ට සෙත්පැතීමේ ආශිර්වාද පිංකම ජය ශ්‍රී මහා බෝ සමිදු අභියසදී

ඔක්තෝම්බර් මස 10 වන දිනට යෙදි තිබෙන 71 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සමගාමීව සියලු යුද්ධ හමුදා ධජයන්ට සෙත්පතමින් සිදුකරනු ලැබූ දෙවැනි ආගමික උත්සවය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභිමුවදී අද (30) දින උදෑසන පැවැත්විණි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගෞරව පූර්වකව, අටමස්ථානාධිපති උතුරු මැද පළාත් සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව සම්ප්‍රදායානුකූලව දැහැත් වට්ටියක් සමඟින් අටපිරිකර පූජා කර උඩමළුවේ පැවැත්වෙන යුද්ධ හමුදාවට සෙත්පැතීමේ ආගමික වතාවත් සඳහා අටමස්ථානාධිපති නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයට ආරාධනා කරන ලදී.

යුද්ධ හමුදා මූලස්ථානය, ස්වේච්ඡා බලසේනා මූලස්ථානය, සියලු ආරක්‍ෂක සේනා මූලස්ථාන, සියලු ඉදිරි නඩත්තු පෙදෙස් මූලස්ථාන, සේනාංක, බලසේනා, රෙජිමේන්තු, ඒකක සහ යුද්ධ හමුදා පුහුණු පාසල් නියෝජනය කරමින් ධජ රැගත් යුද්ධ හමුදා සෙබළුන් සියගණනක් ජය ශ්‍රී මහා බෝධියේ පහල වැලි මළුව වටා තෙවරක් සක්මන් කොට මැද මළුවේදී එම ධජයන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත භාරදුන්හ.

සම්ප්‍රදායික ‘හේවිසි’ හා ‘මගුල් බෙර’ හඬ මධ්‍යයේ යුද්ධ හමුදාධිපතිතුමන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරින් බැතිබරව යුද්ධ හමුදා ධජයන් ජය ශ්‍රී මහා බෝ සමිදුන් වටා තැන්පත් කිරීමෙන් අනතුරුව ගරුතර මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කොට සියළු යුද්ධ හමුදා ධජයන්ට ආශිර්වාද එක් කළහ.

ශ්‍රී මහා බෝ සමිඳුන් වටා පිච්ච මල් සහ නෙළුම් මල් ඇතිරූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රට රකින සියළු යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් සහ ඔවුන්ගේ සුභසිද්ධිය පතා ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාද පැතූහ. එමෙන්ම, මහානායක හිමිවරුන් විසින් එහිදි විශේෂ අනුශාසනාවක් සිදු කරමින් යුද්ධ හමුදාව රට වෙනුවෙන් ඉටුකල කාර්යභාරය සහ කැපවීම පැසසුමට ලක් කළහ.

මෙම ආගමික උත්සවයේදී ලංකාරාම විහාරාධිකාරි උතුරු මැද පළාත් අධිකරණ සංඝනායක පූජ්‍ය රැළපනාවේ ධම්මජෝති නාහිමියන් විශේෂ අනුශාසනාවක් සිදුකරමින් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සමඟ පැවැති සටන්වල උච්චතම අවස්ථාවේ වත්මන් යුද්ධ හමුදාධිපතිතුමන් ජාතිය වෙනුවෙන් සිදුකළ සේවය මහත් අභිමානයෙන් යුතුව සිහිපත් කළේය.

මෙම ආගමික වතාවත් සිදු කිරීම සඳහා රුවන්වැලි මහ සෑයේ විහාරාධිකාරී පූජ්‍ය ආචාර්යය පල්ලේගම හේමරතන නායක හිමිපාණන්, ශ්‍රී ජයන්ති විහාරයේ විහාරාධිපති පූජ්‍ය නුගතැන්නේ පංඤාණන්ද නායක හිමිපාණන්, මිරිසවැටිය විහාරයේ විහාරාධිපති පූජ්‍ය ඇතාවැටුණුවැවේ ඥාණතිලක හිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කළහ.

යුද්ධ හමුදාධිපතිතුමා විසින් ශාසනාභිවෘද්ධිය උදෙසා මූල්‍යමය පරිත්‍යාගයක් අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් වෙත මෙහිදී පූජා කරනු ලැබීය.

ඔක්තෝබර් මස 10 දිනට යෙදි තිබෙන 71 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සමගාමීව සියලු යුද්ධ හමුදා ධජයන් සඳහා ආශිර්වාද ලබාගැනීමේ අරමුණින් පැවැත්වූ දෙවන ආගමික වැඩසටහන සඳහා නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, නියෝජ්‍ය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි, විධායක ජෙනරාල්, ආරක්‍ෂක සේනා මූලස්ථාන ආඥාපතිවරුන්, යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, සේනාවිධායකවරුන්, සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.

පසුගිය සදුදා ශ්‍රී දළදා මාලිගයේ පැවැති ආගමික වතාවත්වලින් අනතුරුව අද (30) දින උදෑසන මෙසේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී සාම්ප්‍රදායිකව හමුදා ධජයන්ට සෙත්පැතීමේ ආගමික උත්සවය පැවැත්වු අතර, තෙවන බෞද්ධ ආගමික උත්සවය ඔක්තෝබර් මස 5 වන දින කතරගම කිරිවෙහෙර පුදබිමේදී පැවැත්වීමට නියමිතය. එමෙන්ම, යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් කතෝලික, ඉස්ලාම් සහ හින්දු ආගමික වතාවත් ද මේ අයුරින්ම උසස් ආකාරයෙන් සිදුකිරීමට සියළු කටයුතු මේ වනවිට සූදානම්ව ඇත.

1949 ඔක්තෝබර් මස ස්ථාපිත කරන ලද යුද්ධ හමුදාව මේ වනවිට ස්වේච්ඡා ඒකකයන් ද ඇතුලත්ව රෙජිමේන්තු 24 කින් සමන්විත වන අතර, 2009 වසරේ ත්‍රස්තවාදය පරාජය කරමින් ලැබූ විජයග්‍රහණයෙන් අනතුරුව යුද්ධ හමුදාව මේ වනවිට ජාතිය ගොඩනැංවීමේ සංවර්ධන ක්‍රියාදාමය සඳහා ද සක්‍රියව දායකත්වය දක්වනු ලබයි. buy footwear | Releases Nike Shoes