Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th July 2022 10:12:08 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයට නව පරිපාලන ගොඩනැගිලි සංකීර්ණයක්

කොස්ගම, සාලාව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය නව සන්දිස්ථානයක් සනිටුහන් කරමින්, මීට වසර කීපයකට පෙර එම මූලස්ථාන පරිශ්‍රයේ අහඹු ලෙස සිදුවූ පිපිරීමක් හේතුවෙන් විනාශයට පත් පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය නවතමයෙන් ඉදිකරන ලද අතර, එය විවෘත කිරීමේ උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සෙනසුරාදා (23) දින සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ එම මූලස්ථානයේ හමුදා සාමාජිකයින් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

පසුගියදා විවෘත කරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයට පිවිසෙන ප්‍රධාන දොරටුව අභියසදී එම මූලස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා විසින් යුද්ධ හමුදාධිපතිතුමන් උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව එම මූලස්ථානයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පුදකරනු ලැබූහ. ඉන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථායේ සේනාවිධායක විසින් යුද්ධ හමුදාධිපතිතුමන් සරඹ භූමියේ ප්‍රධාන පීඨිකාව වෙත කැටුව යන ලද අතර, එහිදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත හමුදා සම්ප්‍රදායානුකූල ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් හා වර්ණ ධජයන්ගෙන් සැදුම්ලත් සරඹ පෙළපාලිය නිරීක්‍ෂණය කරන ලෙස පෙළපාලියේ අණදෙන නිලධාරි විසින් ආරාධනා කරනු ලැබීය.

අනතුරුව, මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා සහ අනෙකුත් ආගමික පූජකවරුන්ගේ ආශිර්වාද මධ්‍යයේ සුබ මොහොතින් එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සංකේතාත්මකව සමරු ඵලකය නිරාවරණය කර පීත්ත පටිය කපා නව පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය විවෘත කරන ලද අතර, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් එම ස්ථානයට වැඩමවා වදාල මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාගන්නා ලදී.

එහිදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සේනාවිධායක සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟින් යුද්ධ හමුදාධිපතිතුමන් ඉතා ඕනෑකමින් යුතුව නිරීක්‍ෂණ චාරිකාවකට එක් වෙමින්, නවීන පහසුකම්වලින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණයේ සියලුම ස්ථානයන් පිළිබඳ සොයාබැලූ අතර, ව්‍යාපෘතිය කඩිනමින් සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සේනාවිධායක සහ සියලුම නිලයන් ඇගයීමට ලක්කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන අණසක මූලස්ථාන පරිශ්‍රයේ පවත්වාගෙන යමින් තිබූ මෙම ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය, යුද්ධ හමුදාවේ ‘ඉදිරි උපාය මාර්ග සැලැස්ම 2020 – 2025’ ට සමගාමීව රුපියල් මිලියන 75 ක් පමණ මුදලක් වැය කර නවතමයෙන් ඉදිකර මෙලෙස විවෘත කරන ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකාය සහ අනෙකුත් සියලුම යුද්ධ හමුදාවේ ආධාරක රෙජිමේන්තු වල භටපිරිස් විසින් උසස් වාස්තු විද්‍යාත්මක සැලසුමකින් යුතුව සහ ඉදිකිරීම් ක්‍ෂ්ත්‍රයේ සිවිල් උපදේශකයින් සහ ප්‍රවීණයන් සමඟ සමීපව සාකච්ඡා කොට මෙම අංග සම්පූර්ණ නව පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය ඉදිකරන ලදී.

අනතුරුව මෙම අවස්ථාව සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් කඳවුරු පරිශ්‍රයේ පැලයක්ද රෝපණය කරන ලද අතර, ශ්‍රී ලංකා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ විශේෂ අමුත්තන් සඳහා වූ සමරු පොතේ සටහනක්ද තැබුවේය. මෙම අවස්ථාවේදී යුද්ධ හමුදාධිපතිතුමන් සහ පැමීණ සිටි අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා විසින් සමරු තිළිණ ප්‍රදානයක්ද සිදුකරන ලදී.

මෙම උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික, විධායක ජෙනරාල්, උපකරණ මාස්ටර් ජෙනරාල්, යුධෝපකරණ මාස්ටර් ජෙනරාල්, අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල හමුදා, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර, යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති ඇතුළු නිලධාරීන්, සෙසුනිලයින් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ රාජකාරිකරනු ලබන අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගී වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය අඛණ්ඩව ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාව වෙත පිටුවහලක් සපයමින් විවිධ ක්‍ෂ්ත්‍රයන් ඔස්සේ වයස් සීමාවන් සහ සුදුසුකම් මත පදනම්ව කෙටි සේවා කාල සීමාවන් පුළුල් කරමින් බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටීන් මගින් යුද්ධ හමුදා නිත්‍ය බලසේනාව නංවාලීම සඳහා පරිපූරක බලසේනාවක් ලෙස ක්‍රියා කර ඇත.