Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th July 2022 23:10:19 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා ක්‍රීඩා උළෙල, අන්තර් රෙජිමේන්තු පැරා මළල ක්‍රීඩා උළෙල සහ අන්තර් රෙජිමේන්තු ආධුනික ක්‍රීඩා උළෙල ඇරඹේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා ක්‍රීඩා උළෙල, 23 වන අන්තර් රෙජිමේන්තු යුද්ධ හමුදා පැරා මළල ක්‍රීඩා ශූරතාවලිය සහ අන්තර් රෙජිමේන්තු ආධුනික ක්‍රීඩා උළෙල දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී බදාදා (27) දින ‍උත්සවාකාරයෙන් ආරම්භ විය.

යුද්ධ හමුදා ක්‍රීඩක/ ක්‍රීඩිකාවන් සිය ගණනකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු සහභාගී විය.

මෙම උත්සව අවස්ථාව සඳහා එක් වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක, යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති, යුද්ධ හමුදා පැරා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති සහ ‘ස්කයි ඩයිවින්’ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා සහ ‘සෙනෙහස’ අධ්‍යාපනික හා තොරතුරු මධ්‍යස්ථානයේ සේනාවිධායක, යුද්ධ හමුදා පැරා මළල ක්‍රීඩා කමිටුවේ උප සභාපති සහ යුද්ධ හමුදා අත්පන්දු කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් රාජා ගුණසේකර සමඟින් එක් වූ ආබාධිත යුද්ධ හමුදා සාමාජිකයින් කිහිපදෙනෙකු විසින් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සහ යුද්ධ හමුදා පැරා ක්‍රීඩා තරඟ ධජය එසවීම සඳහා කොඩි කණුව වෙත කැටුව යන ලදී.

ඉන් අනතුරුව, යුද්ධ හමුදා ගීතය ගායනා කළ අතර මවුබිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිපත් කරමින් ඔවුන් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලදී.

තරඟාවලීන් තුනම නියෝජනය කරමින්, යුද්ධ හමුදා පැරා මළල ක්‍රීඩා කමිටුවේ උප සභාපති සහ යුද්ධ හමුදා අත්පන්දු කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් රාජා ගුණසේකර විසින් පිළිගැනීමේ කථාව සිදුකිරීමෙන් අනතුරුව උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ගුවනට බැලූන් මුදාහැරීම සඳහා මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු වෙත ආරාධනා කරන ලදී. එම අවස්ථාවේදී සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ විනිසුරුවන් තරඟ නීති රීතීන්ට අනුකූලව ක්‍රීඩා කරන බවට දිවුරුම් දුන් අතර, තරඟාවලීන් සඳහා අඛන්ඩ සහභාගීත්වය ලබාදෙන බවට ප්‍රතිඥා දුන්හ.

මෙම සමාරම්භක උත්සවයේ සමාප්තියේ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු විසින් ගිනි සිලුව දල්වා දින දෙකක් පුරාවට (ජුලි මස 27 - 28) පැවැත්වෙන මෙම ක්‍රීඩා සහ මළල ක්‍රීඩා උළෙලේ තරඟ ඉසවු අඛණ්ඩව පැවැත්වීම සංකේතවත් කරන ලදී.

මෙවර පවත්වනු ලබන ඒකාබද්ධ තරඟාවලිය සඳහා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 700 කට අධික පිරිසක් තරඟ වදිති.