Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th August 2021 10:55:31 Hours

ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමේ නායක යුද්ධ හමුදාවේ සැරයන් දිනේෂ් ප්‍රියන්තට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුභපැතුම්

ශ්‍රී ලංකා ජාතික පැරාලිම්පික් කමිටුව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රිඩිකාවන් 9 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ජපානයේදී අගෝස්තු මස 24 දින සිට සැප්තැම්බර් මස 5 දින දක්වා පැවැත්වීමට නියමිත ටෝකියෝ පැරාලිම්පික් තරඟාවලිය - 2020 සඳහා සහභාගිවීමට නියමිතව ඇත. එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් ක්‍රීඩකයින් 7 දෙනෙකු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් මෙවර තරඟාවලියට සහභාගි වේ.

ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් සම්පත් බණ්ඩාර (දුනුවීදීම), ගජබා රෙජිමේන්තුවේ සැරයන් දිනේෂ් ප්‍රියන්ත (හෙල්ල විසිකිරීම), විජයබාහු පාබල රෙජිමේන්තුවේ සැරයන් සම්පත් හෙට්ටිආරච්චි (හෙල්ල විසිකිරිම), ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ කෝප්‍රල් පාලිත බණ්ඩාර (යගුලිය විසිකිරීම), විශේෂ බලකායේ මාණ්ඩලික සැරයන් මහේෂ් ජයකොඩි (ඔරුපැදීම), ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සැරයන් රංජන් ධර්මසේන (හෙල්ල විසිකිරිම) සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කෝප්‍රල් සමිත දුලාන් (හෙල්ල විසිකිරිම) පැරාලිම්පික් තරඟාවලිය සඳහා සහභාගිවිමට ජපානය බලා පිටත්වයාමට පෙර ඔවුන්ගේ පුහුණුකරුවන්, කළමනාකරිත්වය සහ පරිපාලන නිලධාරින් සමඟ ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

එහිදී, තරඟාවලිය සදහා සහභාගිවන යුද්ධ හමුදා ක්‍රීඩකයින්ට උපදෙස් ලබාදුන් යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන්ගේ ජයග්‍රාහණයන් සදහා සුභපැතුම් ද එක් කළේය. ලොවපුරා කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය හමුවේ මෙවර පැවැත්වෙන ඔලිම්පික් තරඟාවලියේ ජවන හා පිටිය මළල ක්‍රීඩා ඉසව්, ඔරුපැදිම, දුනුවීදිම සහ රෝදපුටු ටෙනිස් යන ඉසව් නියෝජනය කරමින් ශ්‍රී ලාංකීක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වීමට නියමිත අතර මීට පෙර ලන්ඩනයේ (2012) සහ රියෝ ද ජැනේයිරෝ (2016) දී පැවති පැරාලිම්පික් තරඟාවලින් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුවිශේෂි දක්‍ෂතාවයන් දක්වමින් ජයග්‍රහණ ලබාගත් හෙයින් මෙවර තරඟාවලියට යුද්ධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් සහභාගි කරවීම සතුටට කරුණක් බවත් මෙවර පැරාලිම්පික් තරඟාවලිය ජෛව බුබුලක් තුළ පැවැත්වෙන බවත් යුද්ධ හමුදාධිපතිතුමන් මෙම හමුවේදී පැවසීය.

ටෝකියෝ පැරාලිම්පික් සංවිධායකයින් විසින් නියම කරන ලද සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව අගෝස්තු 20 වන දින ශ්‍රී ලාංකීක ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ඇත.

මෑතකදී පැවති රියෝ පැරාලිම්පික් තරඟාවලියේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සැරයන් දිනේෂ් ප්‍රියන්ත හේරත් මෙවර පැරාලිම්පික් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන කණ්ඩායමට නායකත්වය ලබාදෙනු ලබයි.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවති මෙම සුහද හමුව සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් වසන්ත මාදොල, ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති ලුතිනන් කර්නල් දීපාල් හේරත්, ජාතික පැරාලිම්පික් කමිටුවේ ලේකම් බ්‍රිගේඩියර් බන්දුල බණ්ඩාර, ජාතික පැරාලිම්පික් කමිටුවේ උප සභාපති බ්‍රිගේඩියර් ධනංජය අලුදෙනිය ඇතුළු තවත් නිලධාරින් කිහිපදෙනෙකු එක්ව සිටියහ.

මෙවර ටෝකියෝ පැරාලිම්පික් තරගාවලිය තරඟ ඉසව් 22 ක් යටතේ පැවැත්වෙන අතර එහිදී පදක්කම් 539 ක් දිනාගැනීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,400 ක් තරඟවැදීමට නියමිතව ඇත.

ටෝකියෝ හිදී පැවැත්වෙන මෙවර පැරාලිම්පික් තරඟාවලිය සඳහා මළල ක්‍රීඩකයින් 6 දෙනෙකු සහ තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු සෘජු සුදුසුකම් ලබාගත් අතර කුමුදු ප්‍රියංකා ක්‍රීඩිකාව (Universality place) මට්ටමින් සුදුසුකම් ලබාගත්හ.

වර්ෂ 1996 ඇට්ලන්ටාහිදී පැවති පැරාලිම්පික් තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වු ක්‍රීඩකයින් ජයග්‍රහණයක් ලබා ඇති අතර වර්ෂ 2012 ලන්ඩනයේ පැවති පැරාලිම්පික් තරඟාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟවැදුණු ප්‍රදීප් සංජය ලෝකඩ පදක්කමක් සහ වර්ෂ 2016 රියෝහිදී පැවති පැරාලිම්පික් තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වු සැරයන් දිනේෂ් ප්‍රියන්ත හේරත් ලෝකඩ පදක්කම්ක් දිනා ගත්හ.