Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th October 2022 13:17:48 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ සංවත්සර සැමරුම් දිනයට සමගාමීව මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කෙරේ

මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා පාබල හමුදාවේ දිවිපිදූ වීරෝදාර රණවිරුවන් 3744 දෙනෙකුගේ අසමසම පරිත්‍යාගය, වීරත්වය, කැපවීම සහ මෙහෙවර සිහිපත් කිරීමේ ඒකායන අරමුණින් පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ ඉදිකර ඇති දකුණු ආසියාවේ විශාලතම රණවිරු ස්මාරකය අභියසදී පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයක් පසුගිය අඟහරුවාදා (25) දින එම වීරෝදාර රණවිරුවන්ගේ භාර්යාවන් හා දූදරුවන්, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් සහ ආරාධිත අමුත්තන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විනි.

අප මාතෘ භූමියට තිරසාර සාමය ගෙන ඒමට ජීව දානයෙන් උත්තරීතර කැපකීරීම් සිදුකල අභීත පාබල හමුදාව් රණවිරුවන් වෙනුවෙන් ලබාදෙන ඉහලම ගෞරවාචාරය පුදකර ඔවුන් ගුණානුස්මරණය කිරීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන මෙම සැමරුම් උළෙල සඳහා ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ටී.ජේ.කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ආරාධනයෙන් ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ සහභාගී විය.

වර්ෂ 2015 ඔක්තෝබර් මස 26 වන දින ජෙනරල් ආර්එම්ඩී රත්නායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී (විශ්‍රාමික) ගේ අදහසක් මත ඉතාමත් දර්ශනීය ආකාරයට ඉදිකර ඇති ශ්‍රී ලංකා පාබල හමුදාවේ රණවිරු ස්මාරකය එම රෙජිමේන්තුවේ වීරෝධාර විරුවන්ගේ සදාතනික මතකයන් පිලිබිඹු කරමින් දේශය වෙනුවෙන් දිවිපිදූ එම වීරෝධාර රණවිරුවන්ගේ තේජාන්විත භාවය ලොවට පෙන්වමින් විරාජමානව වැජබෙයි. ශ්‍රී ලංකා පාබල හමුදාවේ 141 වැනි සංවත්සර සැමරුම් දින උත්සවයට වැදගත්කමක් එක්කරමින් හිටපු යුද්ධ හමුදාධිපතිවරුන් වන ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ (විශ්‍රාමික) සහ ජෙනරල් දයා රත්නායක (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

සර්ව ආගමික වතාවත් වලින් අනතුරුව ජාතික ගීය, පාබල හමුදා රෙජිමේන්තුවේ ගීතය ගායනා කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන්, කුරිරු ත්‍රස්ථවාදයෙන් රට මුදවා ගැනීමට දිවි පරදුවට තබමින් කටයුතු කල පාබල හමුදාවේ වීරෝධාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු එහි රැස්ව සිටි සියලු දෙනා එම රෙජිමේන්තුවේ වීරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පවත්වන ලදී.

ඉන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකර සිය ගෞරවාචාරය පුදකරන ලදී.

සුදු වතින් සැරසී එම උත්සව අවස්ථාවට සම්බන්ධ වූ මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු පාබල හමුදා රෙජිමේන්තුවේ විරෝදාර රණවිරුවන්ගේ දූ පුතුන්, මව්වරුන් සහ බිරින්දෑවරුන් විසින් තම ආදරණිය යුධ විරුවන්ගේ නම් ඉතාමත් ඕනෑකමකින් යුක්තව නිරීක්‍ෂණය කල මොහොත ඉතා සංවේදී ජනක දර්ශණයක් විය.

ශ්‍රී ලංකා මාතෘ භූමියේ ඒකීය භාවය ආරක්‍ෂා කිරීම සඳහා දිවි පරදුවට තබමින් කටයුතු කල උත්තරීතර රණවිරුවන්ට ගෞරව දැක්වීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ද පුෂ්පෝපහාර දැක්වනු ලැබූහ.

ඉන් අනතුරුව, හිරු නැගෙනා මොහොතෙදිත් හිරු බසිනා මොහොතෙදිත් රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් වෙනුවෙන් හමුදා සම්ප්‍රදායානුකුලව වැයෙන යුද්ධ හමුදා තුර්යවාදක බියුගල් නලාකරුවන්ගේ අවර රණවිරු අනුස්මරණ බියුගල් නාදය ගුවනට මුසුවීමත් සමඟම උත්සවයේ සමාප්තිය සනිටුහන් විය.

දශක තුනකට අධික කාලයක් පැවති රුදුරු ත්‍රස්තවාදය පරාජයට පත්කරමින් 2009 මැයි මාසයේ මාතෘ භූමියට සාමය උදාකරලීම සඳහා ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරීන් 161 දෙනෙක් සහ සෙසුනිලයන් 3583 දෙනෙක් සිය ජීවිත පරිත්‍යාග කරමින් අපරිමිත කැපකිරීමක් සිදුකරන ලදී.

මෙම රණවිරු සැමරුම් උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී ජානකී ලියනගේ මැතිණිය සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ උප සභාපතිනි ශිරෝමාලා කොඩිතුවක්කු මැතිණිය ද සහභාගී වූහ.

සැමරුම් උත්සවයෙන් අනතුරුව, තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ‘නිලධාරීන්ගේ සලාක කළමනාකරණ පද්ධතිය’ නව මෘදුකාංගය අන්තර්ජාල යෙදවුම හදුන්වාදීමේ අවස්ථාව පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරී නිවස්නයේදී පැවති අතර, ඒ සඳහා සියලු නිලධාරින් එක්වූහ. එමගින් යුද්ධ හමුදාවේ නිලධාරීන්ගේ සලාක කළමනාකරණ කටයුතු පහසුවෙන් සිදුකිරීමේ හැකියාව සැලසෙනු ඇත.

යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරල් එච්එම්එල්ඩී හේරත් ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජීඑල්එස්ඩබ්ලිව් ලියනගේ යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් සහ අධීක්‍ෂණය මත තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ තාක්‍ෂණික විශේෂඥයින් විසින් මෙම නව තොරතුරු තාක්‍ෂණ යෙදවුම් පද්ධතිය නිර්මාණය කරන ලදී.

රණවිරු සැමරුම් උත්සවය සඳහා ශ්‍රී ලංකා පාබල හමුදාවේ රණවිරුවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ ආරාධිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.