Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th September 2021 16:19:52 Hours

විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකල සුභසාධන පහසුකම් රැසක් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කෙරේ

නාවුල පිහිටි විශේෂ බලකා රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකල නව ගොඩනැගිලි සංකීර්ණය සහ බළලත් නිලධාරි හා සැරයන් නිවස්නය අද (05) දින උදෑසන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති මෙන්ම විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් විවෘත කෙරිණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විශේෂ බලකා රෙජිමේන්තු මුලස්ථානයේදී හමුදා ගෞරවාචාර මධ්‍යයේ මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.

විශේෂ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් නිශ්ශංක ඊරියගම විසින් රෙජිමේන්තු මුලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පිළිගැනීමෙන් අනතුරුව කඳවුරු මුරයේ ගෞරවාචාරය ප්‍රධාන දොරටුව අභියසදී යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනැමුවේය.

පසුව, අතිරේක ප්‍රහාරක බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ සහ ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජිව සෙනරත් යාපා විසින් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වු යුද්ධ හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගත්හ.

සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගේපදේශයන්ට අනුකූලව පැවැති මෙම උත්සවයේදී අභිනවයෙන් ඉදිකල 'Eagle Den' ගොඩනැගිලි සංකීර්ණයේ සමරුඵලකය නිරාවරණය කර පීත්ත පටිය කපා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සුරතින් විවෘත කෙරිණි. විශේෂ බලකා සෙබළුන්ගේ සුභසාධනය උදෙසා අභිනවයෙන් ඉදිකල මෙම ගොඩනැගිලි සංකීර්ණය ආපනශාලාවක්, මැහුම්හලක්, කරණවෑම්හලක් සහ සුභසාධක වෙළඳ සැලකින් සමන්විත වේ.

ඉන් අනතුරුව, වැඩමවා වඳාල මහා සංඝරත්නයේ සෙත්පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකල බළලත් නිලධාරි හා සැරයන් නිවස්නය විශේෂ බලකායේ රෙජිමේන්තු සැරයන් මේජර් විසින් කරන ලද ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් සමරුඵලකය නිරාවරණය කර පීත්ත පටිය කපා විවෘත කරන ලදී. පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් සියලු පහසුකම්වලින් සමන්විත මෙම බළලත් නිලධාරි හා සැරයන් නිවස්නය දැකුම්කළු අයුරින් නිර්මානය කිරීම පිළිබඳව විශේෂ බලකායේ සියලුම නිලධාරින් සහ බළලත් නිලධාරින් ඇතුළු සෙසුනිලයින්ට සිය කෘතඥතාවය එහිදි පුද කළේය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් එක්වීම පිළිබඳ සිය කෘතඥතාවය පුද කරමින් විශේෂ බලකායේ රෙජිමේන්තු සැරයන් මේජර් විසින් එහිදි විශේෂ සමරු තිළිණයක් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනැමුවේය. යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ බලකා රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයෙන් නික්මයාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වු පොතේ සමරු සටහනක් ද තැබීය.

සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති මෙම අවස්ථාවට විශේෂ බලකා බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් තුෂාර මහලේකම්ගේ, ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් විපුල ඉහලගේ, විශේෂ බලකායේ අණදෙන නිලධාරින් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් කිහිපදෙනෙකු සහභාගි වූහ.

මෙම සුභසාධන ව්‍යාපෘතින්, විශේෂ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් නිශ්ශංක ඊරියගම ලබාදුන් උපදෙස් මත විශේෂ බලකා රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්ගේ සහයෝගය ඇතිව විශේෂ බලකා රෙජිමේන්තු මුලස්ථානයේ ප්‍රතිපාදන යොදාගනිමින් ඉංජිනේරු සේවා බලකායේ සහ විශේෂ බලකායේ භටපිරිස් විසින් කෙටි කාලයක් තුලදී ස්ථාපිත කරන ලදී. මීට මාස කිහිපයකට ප්‍රථම, විශේෂ බලකා රෙජිමේන්තු මුලස්ථානයේ සංචාරයක නිරතවු යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව නව සුභසාධන පහසුකම් මේ අයුරින් රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේ ඉදිකරන ලදී.