Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st September 2019 13:12:14 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ව හමුදා ගෞරවාචාර මධ්‍යයේ යාපනයේදී උණුසුම් අයුරින් පිළිගනි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව අද (20) දින උදෑසන යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පළමු නිල සංචාරය සිදුකළ අතර එහිදී, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ඉහළම ගෞරවාචාරය පිරීනැමීය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ යාපනය අර්ධද්වීපය හා ඇති සම්බන්ධතාවය වර්ෂ 1990 දක්වා දිවයන්නකි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මෙතෙක් බිහිකළ ලාබාලතම අණදෙන නිලධාරියා වත්මන් යුද්ධ හමුදාධිපතිවරයා වන අතර වර්ෂ 1995 දී යාපනය අර්ධද්වීපය එල්ටීටීඊ ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදවාගැනීම සඳහා දියත් කෙරුණු ‘රිවීරැස’ මෙහෙයුමේ දී පාබල බලඇණියකට අණදීම ද එතුමන් විසින් සිදුකරන ලදී. ත‍්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම් ඉතා තීරණාත්මක අවධියක පැවති ඒ සමයේ දී වත්මන් යුද්ධ හමුදාධිපතිතුමන් ගුවන් සංක්‍රමික බලසේනාවේ බලසේනාධිපති ලෙස කටයුතු කරන ලදී. වර්ෂ 2006 අගෝස්තු මාසයේදී මුහුමාලේ ඉදිරි ආරක්‍ෂක වළල්ල නොහොත්, ලංකා ආරක්‍ෂක ඉදිරි පෙරමුණ තෙක් කොටසක් ත්‍රස්තවාදීන් සතුව පැවතුන අතර එය මුදාගැනීම සඳහා ද වත්මන් යුද්ධ හමුදාධිපතිතුමන් දායකත්වයක් දක්වන ලදී.

පලාලි ගුවන් තොටුපල වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව මව්බිම වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර පුදකිරීම සඳහා එතුමන්ට ආරාධනා කරන ලදී.

එම ආරාධනය අනුව, යුද්ධ හමුදාධිපතිතුමන් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස මල් කළඹක් තබා මව්බිම වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්ගේ අමරණිය මතකයන් සිහිපත් කර ඔවුන්ට සිය ගෞරවාචාරය පුද කළේය.

ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අභියසදී යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමූ අතර අනතුරුව, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සරඹ භූමියේ දී 23 වන යුද්ධ හමුදාධිපතිතුමන් වෙත වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් සමඟ සමුහ ඡායාරූපයකට ද පෙනී සිටියහ. යුද්ධ හමුදාධිපතිතුමන් මෙම සංචාරය සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ අතර පසුව එතුමන් භටපිරිස් අමතනු ලැබීය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා භටපිරිස් අමතමින්, යුද්ධ හමුදාව පිළිබඳ ඔහුගේ දැක්ම ගෙනහැර දැක්වූ අතර ජාතියේ ආරක්‍ෂකයින් ලෙස සියලු ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රසාදයට ලක්වූ ජයග්‍රාහී හමුදාවක් ගැන ආඩම්බර වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. තවද. යුද්ධ හමුදා සාමාජිකයෙකුවීමේ වැදගත්කම හා ආඩම්බරය ද යුද්ධ හමුදාධිපතිතුමන් භටපිරිස් වෙත සිහිපත් කළේය.

පසුව, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී යාපනය අර්ධද්වීපයේ ස්ථාපිත යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය, ඉදිරි නඩත්තු පෙදෙස, සේනාංක, බලසේනා සහ ඒකකයන් යටතේ සේවයේ නියුතු නිලධාරීන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනිමින් ඔවුන්ගේ ගැටළු පිළිබඳ විමසා සිටියහ. සිය ධූර කාලය තුළ යුද්ධ හමුදාවේ සහ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුභසාධනය සඳහා හැකි සෑම පියවරක්ම ගන්නා බවට යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි සහතික විය. Best Sneakers | Air Jordan Sneakers