Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th November 2022 21:06:48 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මුලපිරීමකට අනුව මන්මුනේ පාසල් සිසුන්ට නව ක්‍රීඩාපිටියක්

මඩකලපුව, මන්මුනේ ප්‍රදේශයේ පිහිටි විනයාගර් විද්‍යාලයේ සිසුන්ගේ අවශ්‍යතාවයක්ව පැවති ක්‍රීඩා පිටිය ඉදිකිරීමේ කටයුතු සිදුකිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබූ ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් අක්කර 1.75 ක භූමි ප්‍රමාණයක් තුළ සිදුකරනු ලැබූ මෙම දැවැන්ත ව්‍යාපෘතිය සාර්ථකව නිමකරමින් නොවැම්බර් මස (11) දින පැවති කෙටි උත්සවයකදී එම ක්‍රීඩාපිටිය පාසල් සිසුන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් අයිතියට පවරන ලදී.

මාස කිහිපයකට පෙර විදුහල්පති වී. පුෂ්පහරන් මහතා විසින් හිටපු ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ගෙන් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව එතුමන් ඒ පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන් දැනුවත් කළේය. ඒ අනුව, යුද්ධ හමුදාධිපතිතුමන් ක්‍රීඩා පිටිය ඉදිකිරීම සඳහා සුදුසු ඉඩමක් සොයාගැනිම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමඟ සම්බන්ධ වන ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත උපදෙස් ලබාදී තිබිණි.

පාසල් සිසුන් 460 දෙනෙකුගේ ප්‍රයෝජනය වෙනුවෙන් නව ක්‍රීඩාපිටියක් ඉදිකිරීම සඳහා අක්කර 1.75 ක භූමි ප්‍රමාණයක් සොයාගැනීමට සමත් වූ යුද්ධ හමුදා සාමාජිකයන් කැනඩාවේ රාජ්‍ය නොවන සංවිධානයක මූල්‍යමය අනුග්‍රාහකත්වය මත එම නව ක්‍රීඩා පිටියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබීය. කුඩා ක්‍රීඩාගාරයකින් සමන්විත නව ක්‍රීඩා පිටියේ ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් මිලියන 6.25 ක මුදලක් වැය කෙරිණි.

මේ වනවිට විශ්‍රාම සුවයෙන් පසුවන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ධූරය හොබවා ඇති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) ගේ සම්බන්ධීකරණය මත කැනඩාවේ රාජ්‍ය නොවන සංවිධානයක ශ්‍රී ලාංකික සාමාජිකයන්ගේ සහයෝගයෙන් එම සංවිධානයේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.

7 වන ශ්‍රී ලංකා ක්ෂේත්‍ර ඉංජිනේරු බලකායේ භටපිරිස් 3 වන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස්හී සහයෝගය මත 2022 ජූලි මස 09 දින ක්‍රීඩා පිටියේ ඉදිකිරීම් කටයුතු සඳහා භූමිය සැකසීමේ කටයුතු ආරම්භ කරනු ලැබූ අතර මාස 5 කට අඩු කාලසීමාවක් තුළ අධ්‍යාපන සහ පාසල් බලධාරීන්ගේ සහයෝගය මත මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිමා කිරීමට හැකිවිය.

23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ෂෙවන්ත් කුලතුංග, 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර සහ 4 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ජේ.ඒ.එන්.පී. ගුණරත්න ගේ අධීක්‍ෂණය සහ 7 වන ශ්‍රී ලංකා ක්ෂේත්‍ර ඉංජිනේරු බලකායේ භටපිරිස්හී ශ්‍රම දායකත්වය මත දින 65 ක කාලසීමාවක් තුළ ක්‍රීඩාපිටියේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව අවසන් කෙරිණි. එම ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන් අවශ්‍ය උපදෙස් හා මාර්ගෝපදේශයන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ලබා දී තිබිණි.

විනයාගර් විද්‍යාලයේ සිසුන්ගේ දිගුකාලීන අවශ්‍යතාවයක් ඉටුකරමින් ඉදිකරනු ලැබූ මෙම නව ක්‍රීඩා පිටිය විවෘත කිරීමේ උත්සව අවස්ථාව සඳහා හිටපු ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර නැගෙනහිර මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන, මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික), 23 වන සේනාංකයේ සේනාංකාධිපති, 231 වන බලසේනාවේ බලසේනාධිපති, මඩකලපුව දිස්ත්‍රික් කලාප සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ, විනයානගර් විද්‍යාලයේ විදුහල්පති වී. පුෂ්පහරන් මහතා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, දෙමාපියන් සහ එම විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් ද එක්වූහ.