Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th August 2021 19:17:35 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් සහ බංගලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක අතර සාකච්ඡාවක්

සපුගස්කන්ද, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පැවැත්වීමට නියමිත ඒකාබද්ධ සංග්‍රාමික වැඩමුළුවක් සඳහා සහභාගී වීම සඳහා දිවයිනට සපැමිණි බංගලාදේශයේ ‘මිර්පූර්’ (Mirpur) පිහිටි ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් මොහොමඩ් ජුබයර් සලෙහින් (Major General Mohammed Jubayer Salehin) ඉකුත් සදුදා (16) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවීය. එහිදි බංගලාදේශ සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් අතර පවතින ද්විපාර්ශවික සබඳතා පිළිබද සාකච්ඡා කළේය.

පසුගිය වසර කිහිපය තුළදී ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා නිලධාරින්ගේ වෘත්තීය දැනුම ඉහළ නැංවීම සඳහා බංගලාදේශය දැක්වූ මෙන්ම දක්වනු ලබන සහයෝගය වෙනුවෙන් සංචාරයේ නිරත ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් මොහොමඩ් ජුබයර් සලෙහින් (Major General Mohammed Jubayer Salehin) වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් සිය ස්තූතිය පුද කළේය.

තවද පවතින වසංගත තත්ත්වය මත වුවද පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අඛණ්ඩව සහයෝගය දැක්වීම සහ ඒ තුළින් පුහුණු වැඩසටහන් මනා සහයෝගීතාවයකින් ඉටුකිරීමට හැකියාව ලැබීම මෙන්ම බහුවිද පුහුණු වැඩසටහන් සහ සහෝඳර බැදීම මෙරට තරුණ නිලධාරීන්ගේ වෘත්තීය කුසලතාවයන් ඉහළ නැංවීමට බෙහෙවින් ඉවහල් වන බව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

මෙම හමුවේදී මේජර් ජෙනරල් මොහොමඩ් ජබයර් සලෙහින් ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය සහ බංගලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය අතර පවතින ද්විපාර්ශවික සබදතා පිළිබද සිහිපත් කරමින් දෙරට අතර පවතින පුහුණු වැඩසටහන් තවදුරටත් පුළුල් කිරිමේ ඇති හැකියාව පිළිබද කරුණු පැහැදිලි කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමන් සඳහන් කර සිටියේ පවතින කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම වැනි කාර්යබහුල අවස්ථාවක වුවද ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් හමුවීමට අවස්ථාවක් ලබාදීම වෙනුවෙන් එතුමන් වෙත සිය කෘතඥතාවය පළ කර සිටියහ.

මෙම හමුව අවසනායේ දේපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවූ අතර, මේජර් ජෙනරාල් සලෙහින් යුද්ධ හමුදාධිපති කාර්යාලයෙන් සමුගැනීමට පෙර සමරු සටහන් පොතේ සමරු සටහනක්ද තැබූහ.