Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th July 2022 00:40:30 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් කොළඹ යුද්ධ හමුදා රෝහලේදී බදාදා සිදුවීමෙන් තුවාල ලැබූ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසයි

පාර්ලිමේන්තු සංකීර්ණය අසල පසුගිය බදාදා (13) දින පැවති අරගලයේදී විරෝධතාකරුවන් විසින් අමානුෂික අයුරින් පහරදීම හේතුවෙන් බරපතල ලෙස තුවාල ලැබූ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ඉකුත් බ්‍රහස්පතින්දා (14) දින පස්වරුවේ කොළඹ යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රය වෙත පැමිණියේය. එම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් නිශාන්ත මානගේ සහ යුද්ධ හමුදා ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශාන්ත රණවීර ද එක්විය.

එහිදි යුද්ධ හමුදාධිපතිතුමන්, කැපවීමෙන් රාජකාරි කටයුතුවල නිරතව සිටියදී තුවාල ලැබු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුවදුක් විමසමින් එම රණවිරුවන් වෙත ලැබෙන ප්‍රතිකාර කටයුතු පිළිබඳව ද නිරීක්‍ෂණය කරනු ලැබීය. හිසට බරපතළ තුවාල ලබා එම රෝහලේම දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබන තවත් යුද්ධ හමුදා සාමාජිකයින් දෙදෙනෙකු පිළිබඳ තොරතුරු විමසා බැලු යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන් වෙත ලබාදෙනු ලබන ප්‍රතිකාර කටයුතු පිළිබඳව ද එම ඒකකයේ වෛද්‍ය බලධාරින් සමඟ සාකච්ඡා කළේය.

අප රටේ සිදුවූ මෙම තීරණාත්මක සිදුවීම සහ ඒ මොහොතේ යුද්ධ හමුදා සාමාජිකයන් වශයෙන් ඔවුන් වෙත පැවරී ඇති වගකීම් ඔවුන්ගේ රාජකාරි භූමිකාවන් මනාව අවබෝධ කරගනිමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අණ හා උපදෙස් පරිදි කැපවීමෙන් ක්‍රියාත්මකවීම පිළිබඳව යුද්ධ හමුදාපතිතුමන්ගේ පැසසුමට ලක්විය. තවද, එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන් වෙත ලබාදෙනු ලබන වෛද්‍ය ප්‍රතිකාර කටයුතු පිළිබඳවද විමසා බැලීය.

අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් එම පරිශ්‍රයෙන් පිටත්ව යාමට පෙර වෛද්‍ය කාර්ය මණ්ඩලය සමඟද සුහඳව අදහස් හුවමාරු කරගනිමින් රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කැපවී ක්‍රියා කළ තුවාල ලැබූ සෙබළුන්ට අවශ්‍ය සියලු ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන ලෙස එම වෛද්‍ය කාර්යය මණ්ඩලය වෙත උපදෙස් ලබාදුන්නේය.