Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th December 2022 16:59:56 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ‘පීඑස්සී’ මාණ්ඩලික පාඨමාලා අංක 16 හැදෑරූ උපාධි අපේක්‍ෂකයින් අමතයි

සපුගස්කන්ද, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ වාර්ෂිකව පවත්වනු ලබන ‘පීඑස්සී’ මාණ්ඩලික පාඨමාලාවේ උපාධි අපේක්‍ෂක නිලධාරින් ආමන්ත්‍රණය කිරීම යුද්ධ හමුදාධිපති විසින් සම්ප්‍රදායානුකූලව සිදුකරනු ලබයි. ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට අණ සහ මාණ්ඩලික ශිල්පීය ක්‍රම පිළිබඳ දැනුම ලබාදෙමින් අනාගතයේ එම නිලධාරින් විවිධ තනතුරු හෙබවීමේදී සහ අභියෝගවලට මුහුණදීමේදී ඵලදායි අයුරින් කටයුතු කිරීමේ ගුණාංග ප්‍රවර්ධනය කරනු ලබන ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තරව පිළිගත් අධ්‍යයන ආයතනය වන සපුගස්කන්ද, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ‘පීඑස්සී’ මාණ්ඩලික පාඨමාලා අංක 16 හැදෑරූ උපාධි අපේක්‍ෂකයින් ආමන්ත්‍රණය කිරීම පසුගිය බ්‍රහස්පතින්දා (01) දින එම විද්‍යාල පරිශ්‍රයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් සිදුකරනු ලැබීය.

මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම විද්‍යාල ශ්‍රවණාගාරයේදී උපාධි අපේක්‍ෂකයින් එතුමන්ට හඳුන්වාදෙනු ලැබීය. එම උත්සව අවස්ථාව සඳහා විදේශීය නිලධාරින් 22 දෙනෙකු ඇතුළු උපාධි අපේක්‍ෂකයින් 149 දෙනෙකු සහභාගී වූහ.

මෙම දේශනයේදී, යුද්ධ හමුදාධිපතිතුමන් ‘ජාතික ආරක්‍ෂාව පිළිබඳ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අවධානය’ මැයෙන් සිය දේශනය පැවැත්වූ අතර එහිදී, ‘පසුගිය වසර 72 තුළ ජාතික ආරක්‍ෂව පිළිබඳ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දැක්ම’, ‘වර්තමානයේ පවතින සංකීර්ණ ආරක්‍ෂක පරිසරය’, ‘වර්තමාන සන්දර්භය අනුව ආරක්‍ෂාව පිළිබඳ යුද්ධ හමුදාවේ දැක්ම’ සහ ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අනාගත සැලසුම්’, නිදහසින් පසු 1971 දක්වා සහ 1971-1990 අතර කාලය තුල රටේ පැවති ආරක්‍ෂක තත්ත්වයෙහි සිදුවූ වර්ධනයන් පිළිබඳව සහ පශ්චාත් යුධ සමයේ සිට වර්තමානය දක්වා කාලය තුල සිදුකල මානුෂීය මෙහෙයුම් පිළිබඳව මෙන්ම වර්තමානයේදී යුද්ධ හමුදාවට එල්ල විය හැකි අභියෝග පිළිබඳව පුළුල් විශ්ලේෂණයක් ඉදිරිපත් කරන ලදී.

දේශනය සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ සුහද පිළිසදරක නිරත වෙමින් ප්‍රශ්ණ සඳහා පිළිතුරු ලබාගැනීමේ අවස්ථාවද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාල උපාධි අපේක්‍ෂකයන්ට හිමිවිය. මෙම වැඩසටහන සමාප්තියේ, සියලුම උපාධි අපේක්‍ෂකයන් නියෝජනය කරමින් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායකතුමන් විසින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය වෙත සමරු තිළිණයක් සහ එම විද්‍යලයීය පුස්තකාලය වෙත පොත් කට්ටලයක්ද ප්‍රදානය කරනු ලැබීය. එම විද්‍යාල පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ ආරාධිත අමුත්තන් සඳහා වෙන්කර ඇති පොතක විශේෂ සමරු සටහනක් ද තැබුවේය.

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ‘පීඑස්සී’ මාණ්ඩලික පාඨමාලා අංක 16 සඳහා බංගලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, නේපාලය, ඕමානය, පාකිස්ථානය, රුවන්ඩාව, සවුදි අරාබිය, සෙනගාලය සහ සැම්බියාව යන රටවල් නියෝජනය කරමින් සහභාගී වූ විදේශීය නිලධාරින් 22 දෙනෙකු ඇතුළු උපාධි අපේක්‍ෂක නිලධාරින් 149 දෙනෙකු සහභාගි වූහ. එසේම, උපාධියකට සමාන ‘psc’ සුදුසුකම ලබා ගැනීමට සුදුසුකම් ලබාදෙන මෙම පාඨමාලාව යුද්ධ හමුදා නිලධාරීන් 76 දෙනෙක්, නාවික හමුදා නිලධාරීන් 26 දෙනෙක් සහ ගුවන් හමුදා නිලධාරීන් 25 දෙනෙකු විසින් හදාරනු ලැබීය.