Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th April 2021 10:01:44 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් රණක්‍ෂතයට පත් රණවිරුවන්ට පරිත්‍යාගයක්

ඉඩම් නොමැති ර‍ණවිරුවන් 06 දෙනෙකු හට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරිම, රණක්‍ෂිතයට පත් රණවිරුවෙකුට නව නිවසක් පරිත්‍යාග කිරීම, යුද්ධ හමුදා පැරා ක්‍රීඩකයින්ට ක්‍රීඩා උපකරණ පරිත්‍යාග කිරීම ඇතුළු තවත් පරිත්‍යාග කිහිපයක් පසුගිය අඟහරුවාදා (08) දින යුද්ධ හමුදා මුලස්ථානයේ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේදී යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජිවා නෙල්සන් මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.

පරිත්‍යාගශීලිණියක් වන බියට්‍ර්ස් අබේසිරිවර්ධන මෙනවිය විසින් යුද්ධ හමුදාවට දක්වන අනුග්‍රහයක් ලෙස ඉඩම් නොමැති රණවිරුවන් වෙත බෙදාදීම සඳහා එතුමියට අයත් මාතර දිස්ත්‍රික්කයෙහි දෙව්නුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ‘උඩඅපරැක්ක‘ ග්‍රාමයේ පිහිටි අක්කරයක ඉඩම, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙත පරිත්‍යාග කරන ලදී. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි එම ඉඩම කොටස් කර ඉඩම් නොමැති රණවිරුවන් 06 දෙනෙකු වෙත බෙදාදෙන ලදී.

උපාධිධාරි ගුරුවරියෙකු මෙන්ම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රුහුණු සේවයේ විශ්‍රාමික ප්‍රවෘත්ති නිවේදිකාවක් වන බියට්‍රිස් අබේසිරිවර්ධන මහත්මීයගේ එකම සහෝදරයා මීට කලකට පෙර අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත දෙමාපියටන්ට සහ සහෝදරයාට පිං අනුමෝදන් කරමින් එතුමිය මෙම පරිත්‍යාගය සිදුකරන ලදී.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහිව පැවැති මානුෂීය මෙහෙයුමට සක්‍රීයව දායකවී රණක්‍ෂිතයට පත් රණවිරුවන් 6 දෙනෙකු වෙත මෙම ඉඩම් කැබලි බෙදාදෙන ලදී. මෙම ඉඩම් ඔප්පු යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සුජිවා නෙල්සන් මැතිණියගේ සුරතින් ලබාදෙන ලදී.

එම උත්සවය අතරතුරදී, 2007 වර්ෂයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සම්බන්ධවී විශේෂ බලකාය යටතේ රාජකාරි කරමින් සිටියදී වර්ෂ 2008 දි ත්‍රස්තවාදි මෝටාර් ප්‍රහාරයකට ලක්වීමෙන් දකුණු පාදයේ ඇගිලි 02 ක් සහිත කොටසක් ඉවත්කර තිබෙන සැරයන් එම්.එම්. චමින්ද රණවිරුවා වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 12 කට අධික මූල්‍යමය පිරිවැයක් දරා විශේෂ බලකා රණවිරුවන්ගේ ශ්‍රම දායකත්යෙන් මාතර දෙණියාය ප්‍රදේශයේ ඉදිකළ අංග සම්පූර්ණ නිවස පරිත්‍යාග කරන ලදී.

මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ කර්නල් (පාලන) භකාස කර්නල් නලින්ද්‍ර මහවිතාන ජ්‍යේෂඨ නිලධාරීගේ සම්බන්ධීකරණයෙන් විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථාන බලඇණියේ සහයෝගයෙන් සිදුකරන ලදී.

නව නිවසේ යතුර ප්‍රධාන කිරීමේ අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජිවා නෙල්සන් මැතිණිය සමගින් Industrial Safety Equipment පුද්ගලික සමාගෙමේ සභාපතිනි දීපිකා ගුණසේකර මැතිණිය, විශේෂ බලකා සේවා වනිතා ඒකකයේ උප සභාපතිනි ප්‍රියන්ති රණසිංහ මැතිණිය සහ විශේෂ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් නිශ්ශංක ඉරියගම සම්බන්ධ වූහ.

මීට අමතරව, පැරා ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය අගය කරමින් ක්‍රීඩා උපකරණ තොගයක් විශේෂ බලකා රෙජිමේන්තු මුලස්ථානය වෙත පරිත්‍යාග කෙරිණි. රත්නපුර ලක්‍ෂි බියුටි සැලුන් ආයතනයේ අධිපතිනි ලක්‍ෂි කඩවතආරච්චි මැතිණිය සහ සුරංග විජේරත්න මහතාගේ අනුග්‍රහය ඇතිව රුපියල් ලක්‍ෂ 04 ක පමණ වටිනාකමකින් යුත් එම ක්‍රීඩා උපකරණ තොගය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සුජිවා නෙල්සන් මැතිණිය විසින් විශේෂ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් නිශ්ශංක වෙත පරිත්‍යාග කරන ලදී.

බියට්‍රිස් අබෙසිරිවර්ධන මහත්මිය, දීපිකා ගුණසේකර මහත්මිය සහ ලක්ෂි කඩවතාරච්චි මහත්මිය ඇතුළු පරිත්‍යාගශීලීන්ගේ කණ්ඩායමට විශේෂ සමරු තිළිණ ද මෙහිදි ප්‍රදානය කරන ලදී.

මෙම උත්සව අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකක ව්‍යාපෘති භාර ජ්‍යේෂඨ සාමාජිකා චාමි වනසිංහ මැතිණිය හා විශේෂ බලකා සේවාවනිතා ශාඛාවේ උප සභාපතිනි ප්‍රියන්ති රණසිංහ මැතිණිය විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් නිශ්ශංක ඊරියගම, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ කර්නල් (සම්බන්ධීකරණ) කර්නල් තුෂාර බාලසූරිය, කර්නල් (ව්‍යාපෘති) ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/නිලධාරීන්/නිලධාරීනියන් හා විශේෂ බලකායේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. Best Sneakers | Mens Flynit Trainers