Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd November 2022 19:41:36 Hours

යුද්ධ හමුදා සාමාජිකයින්ට ‘නවලෝක විරුසුව සරණ’ කාඩ්පතක්

යුද්ධ හමුදා සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා නවීනතම සෞඛ්‍ය ප්‍රතිලාභ පිරිනමනු ලබන ‘නවලෝක විරුසුව සරණ’ වරප්‍රසාද කාඩ්පත හඳුන්වාදීම අද (23) දින පෙරවරුවේ නවලෝක රෝහල් පරිශ්‍රයේදී සිදු වූ අතර, එම අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී ජානකී ලියනගේ මැතිණිය සහ සීමාසහිත නවලෝක සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා ද එක්වූහ.

ප්‍රවීණ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ආචාර්ය අරුණ ධම්මික කරුණාරත්නගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී ජානකී ලියනගේ මැතිණියගේ මැදිහත්වීම මත යුද්ධ හමුදා රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් ‘නවලෝක විරුසුව සරණ’ වරප්‍රසාද කාඩ්පත හදුන්වාදෙනු ලැබීය. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සහයෝගය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ කර්නල් සම්බන්ධීකරණ නිලධාරී කර්නල් නලින්ද්‍ර මහවිතාන විසින් ලබාදෙන ලදී.

වෙනත් රෝහල් වල නොමැති මිල අධික වෛද්‍ය පරීක්ෂණ, ප්‍රතිකාර ක්‍රම, උපදේශන, නවීන සහ උසස් ඖෂධ සහ සැත්කම් සඳහා සැලකිය යුතු වට්ටම් සහ අනෙකුත් ප්‍රමුඛතා පහසුකම් ලබා ගැනීමට මෙම විශේෂ කාඩ්පත මඟින් හමුදා සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට හැකියාව ලැබේ.

උත්සවයේ වැඩකටයුතු ආරම්භයේදී යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය භාර්යයන් සහ ‘විරුසුව සරණ’ වරප්‍රසාද කාඩ්පත හඳුන්වාදීම පිලිබඳව සැකසුනු කෙටි වීඩියෝ දර්ශන පටයක් පැමිණ සිටි පිරිස වෙත ප්‍රදර්ශනය කරන ලද අතර, දීප ව්‍යාප්තව රාජකාරි සිදුකරන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සේවයට උපහාරයක් ලෙස හදුන්වාදුන් සෞඛ්‍ය ප්‍රථිලාභ ක්‍රමයක් වන මෙම ‘විරුසුව සරණ’ සංකල්පය පිළිබදව ආචාර්ය අරුණ ධම්මික කරුණාරත්න මහතා විසින් එහිදී හැදින්වීමක්ද සිදුකරන ලදී.

යුද්ධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත ‘නවලෝක විරුසුව සරණ’ වරප්‍රසාද කාඩ්පත සංකේතාත්මකව ප්‍රදානය කිරීම මෙම උත්සවයේදී සිදුකරන ලදී. එම අවස්ථාවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි ජානකී ලියනගේ මැතිණිය සහ සීමාසහිත නවලෝක සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ටී.ජේ.කොඩිතුවක්කු, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ උප සභාපති ශිරෝමාලා කොඩිතුවක්කු මහත්මිය සහ එම ඒකකයේ ලේකම් දනූෂා වීරසූරිය මහත්මිය ද එක්වූහ.