Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th November 2022 19:08:46 Hours

යුද්ධ හමුදා සාමාජිකයන් 71 දෙනෙකුගේ නිවාස අවශ්‍යතා සපුරාගැනීමට යුද්ධ හමුදාධිපති රණවිරු නිවාස අරමුදලේ 8 වන අදියර යටතේ මූල්‍ය ප්‍රතිපාදන

රණවිරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන යුද්ධ හමුදාධිපති රණවිරු නිවාස අරමුදලේ 8 වන අදියර යටතේ යුද්ධ හමුදා සාමාජිකයින්ට නව නිවාස ඉදිකිරීමට හෝ අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවාසයන්හි ඉඳිකිරීම් කටයුතු නිමකිරීම සඳහා මූල්‍යමය ප්‍රතිපාදන ලබාදීමේ වැඩසටහන අද (29) දින යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

රණවිරු නිවාස අරමුදලේ 8 වන අදියර යටතේ නව නිවාස 31 ක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 1.5 ක් සහ අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවාස 40 ක ඉදිකිරීම් කටයුතු නිමකිරීම සඳහා රුපියල් 750,000/= ක් වශයෙන් ලබාදීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අනුමැතිය හිමිව ඇත.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ රණවිරු සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එම්. මායාදුන්න ආර්එස්පී යූඑස්පී විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම අවස්ථාවේදී, රණවිරු නිවාස අරමුදල පිළිබඳ හඳුන්වාදීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් ප්‍රතිලාභීන් වෙත අදාළ චෙක්පත් ප්‍රදානය කරනු ලැබීය.

රණක්‍ෂිතයට පත්, සේවයේ නියුතු, විශ්‍රාමික සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ නව නිවාස සිහිනය සැබෑ කිරීමේ අරමුණ පෙරදැරිව 2015 වසරේ රණවිරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් යුද්ධ හමුදාධිපති රණවිරු නිවාස අරමුදල ආරම්භ කරන ලදී. 2015 වසරේ සිට මේ දක්වා නව නිවාස 264 ක් ඉදිකිරීමට සහ අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවාස 71 ක ඉදිකිරීම් කටයුතු නිමකරවාගැනීම සඳහා මෙම අරමුදල යටතේ මූල්‍යමය ප්‍රතිපාදන ලබාදී ඇත.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘විශ්‍රාමිකයන්ගේ රැකියා බැංකුව’ (Veterans Job Bank) නව වෙබ් අඩවිය එළිදැක්වීම ද මෙම අවස්ථාවට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. විවිධ වෘත්තීය විශේෂඥතාවයන්ගෙන් සමන්විත විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයන්ට තම සුදුසුකම් මත රැකියාවක් සොයාගැනීම සඳහා මෙම වෙබ් අඩවිය ප්‍රයෝජනවත් වනු ඇත.

ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරල් එච්.එම්.එල්.ඩී. හේරත් ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ තොරතරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජී.එල්.එස්.ඩබ්ලිව් ලියනගේ යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ තොරතරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් මෙම නව වෙබ් අඩවිය එළිදක්වනු ලැබීය. දිවයින පුරා ස්ථාපිත සමාගම් 13 ක් මේ වනවිට නව වෙබ් අඩවිය සමඟ ලියාපදිංචි වී ඇත.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරල් එච්.එම්.එල්.ඩී. හේරත් ආර්එස්පී යූඑස්පී පීඑස්සී, විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් ජේ.ඒ.ආර්.එස්.කේ. ජයසේකර යූඑස්පී පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, ප්‍රතිලාභීන් සහ ඔවුන්ගේ ළඟම ඥාතීන් පිරිසක් ද සහභාගී වූහ.