Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th April 2021 19:04:40 Hours

යුද්ධ හමුදා මූලස්ථානය අලුත් අවුරුදු උත්සවය සමරයි

උදාවන්නා වු නව වසර සැමරීම වෙනුවෙන් පවත්වනු ලබන සම්ප්‍රදායික ජන ක්‍රීඩා හා විනෝදජනක ක්‍රීඩා රැසකින් සමන්විත සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවය යුද්ධ හමුදා මුලස්ථානයේ සේවයේ නියුතු තෝරාගත් යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු ක්‍රීඩා පිටියේදී දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් සිකුරාදා (09) දින පැවැත්විණි.

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත එම වෛරසය පැතිරීම වැළැක්වීම වෙනුවෙන් ලබාදුන් සෞඛ්‍ය නිර්දේශ වලට අනුකූලව යුද්ධ හමුදා අවුරුදු උත්සවයෙන් ක්‍රීඩා තරඟ රැසක් ඉවත් කරනු ලැබිණි. මීට පෙර පැවැත්වූ යුද්ධ හමුදා අවුරුදු උත්සව විශේෂාංගයන් 30 ත් 40 ත් අතර ප්‍රමාණයකින් සමන්විත වූ අතර මෙවර අවුරුදු ක්‍රීඩා සුළු ප්‍රමාණයක් පමණක් පැවැත්වීය.

යුද්ධ හමුදා මූලස්ථාන ‘බක්මහ උළෙල - 2021’ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය සහභාගි වූහ.

එම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරල් මේජර් ජෙනරල් සංජය වනසිංහ විසින් උණුසුම් අයුරින් පිළිගත්තේය. ඉන් අනතුරුව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් ජාතික ධජයත්, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර යුද්ධ හමුදා ධජයත් එසවූහ.

ධජ ඔසවා ජාතික ගීය සහ යුද්ධ හමුදා ගීතය ගායනා කිරීමෙන් අනතුරුව, රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා, සාම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා බක්මහ උළලේ ආරම්භය සනිටුහන් කළේය.

පුරාණ ගම්මානයක අසිරිය විදහා දක්වමින් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ක්‍රීඩාපිටි පරිශ්‍රයේ ඉදිකර තිබු ආදර්ශ ගම්මානයේ සංචාරය කළ යුද්ධ හමුදාධිපතිතුමන් අලුත් අවුරුදු උත්සවයට සහභාගි වූ නිලධාරීන් සහ සෙසුනිලයින් සමගින් සුහදව අදහස් හුවමාරු කරගත්තේය.

ඉන් අනතුරුව, සහභාගි වු සියලුදෙනා වෙනුවෙන් කිරිබත්, කැවුම්, ආස්මි, කොකිස් ආදී සම්ප්‍රදායික ආහාර සහ රසකැවිලි වලින් පිරි භෝජන සංග්‍රහයක් ද පිරිනමන ලදී.

මෙම අවස්ථාවට සහභාගී වූ යුද්ධ හමුදා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සමාජිකාවන්, සෙසුනිලයින්, ආරාධිතයින් සහ සිවිල් කාර්යමණ්ඩලය එක්ව බක්මහ උළලේ පවත්වන ලද සම්ප්‍රදායික ජන ක්‍රීඩා හා විනෝදජනක ක්‍රීඩා සඳහා මහත් උද්යෝගයකින් යුතුව සහභාගි වූහ.

මෙවර යුද්ධ හමුදා මුලස්ථාන බක්මහ උළෙල රබන් ගැසිම, ‘අවුරුදු කුමරිය’ තේරීම, අලියාට ඇස තැබීම, බනිස් කෑමේ තරගය, සෙමින් බයිසිකල් පැදිම, ගම හරහා දිවීම, විකට ඇදුම් තරඟය සහ බාධක දිවීම ආදී සම්ප්‍රදායික ජන ක්‍රීඩා හා විනෝදාත්මක ක්‍රීඩා රැසකින් සමන්විත වු අතර එම තරඟ ඉසව් වලින් යුද්ධ හමුදා සාමාජිකයින් ප්‍රිතී ප්‍රමෝදයට පත්වූහ.

උත්සවයේ අවසානය සනිටුහන් කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තරඟවලින් ජයග්‍රහණය ලැබුවන් වෙත ත්‍යාග පිරිනැමු අතර ඔවුන්ට අලුත් අවුරුදු සුභපැතුම් ද එක්කරන ලදී. එසේම, අවුරුදු කුමරිය සඳහා වූ විශේෂ ත්‍යාගය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සුජීවා නෙල්සන් මහත්මිය විසින් ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ඔවුන්ගේ භාර්යාවන් ද සහභාගි වූහ. buy shoes | Nike sneakers