Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th August 2022 11:20:52 Hours

යුද්ධ හමුදා ක්‍රීඩා, පැරා මළල ක්‍රීඩා සහ ආධුනික ක්‍රීඩා උළෙල සාර්ථකව අවසන් වෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා ක්‍රීඩා උළෙල, 23 වන අන්තර් රෙජිමේන්තු යුද්ධ හමුදා පැරා මළල ක්‍රීඩා ශූරතාවලිය සහ අන්තර් රෙජිමේන්තු ආධුනික ක්‍රීඩා උළෙල - 2022 ත්‍රෛපාර්ශ්වික ඒකාබද්ධ ක්‍රීඩා උළෙලෙහි අවසන් මහා තරඟ සහ ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවය අද (04) දින පස්වරුවේ දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි.

කොවිඩ් - 19 වසංගත තත්ත්වය සහ වෙනත් ප්‍රායෝගික හේතූන් මත වසර කිහිපයක් පුරාවට පැවැත්වීමට නොහැකි වූ මෙම ඒකාබද්ධ ක්‍රීඩා උළෙල යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 20 කට අධික ප්‍රමාණයක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්, රණක්‍ෂිතයට පත් රණවිරුවන්, ආධුනික සහ මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියගණනකගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කමිටුවේ, යුද්ධ හමුදා පැරා මළල ක්‍රීඩා කමිටුවේ මෙන්ම ස්කයි ඩයිවින් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ අධීක්‍ෂණය යටතේ මෙම අවසන් මහා තරඟයට පෙර සතියකට වැඩි කාලයක් පුරාවට රෙජිමේන්තු මට්ටමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ක්‍රීඩා ඉසවු පැවැත්විණි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 775 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මීට සති කිහිපයකට පෙර ආරම්භ වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මළල ක්‍රීඩා ශූරතාවලිය - 2022 සඳහා සහභාගී වූ එම බලසේනාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරඟාවලිය පුරාවටම සිය දක්‍ෂතාවයන් මැනවින් පිළිබිඹු කරනු ලැබූහ. එම සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අන්තර් රෙජිමේන්තු (පිරිමි) සහ අන්තර් බලඇණි (කාන්තා) ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙස ජවන හා පිටිය ක්‍රීඩා ඉසවු 50 ක් සඳහා සිය දායකත්වය දක්වමින් විවිධ දක්‍ෂතාවයන් දැක්වූහ.

එමෙන්ම, වර්ෂ 2009 මැයි මාසයට පෙර පැවති මානුෂීය මෙහෙයුමේදී විවිධ ආබාධයන්ට ලක් වූ රණවිරුවන් ඇතුලු විවිධ ආබාධ සහිත වීරෝදාර රණවිරුවන් 230 දෙනෙකු 23 වන අන්තර් රෙජිමේන්තු යුද්ධ හමුදා පැරා මළල ක්‍රීඩා ශූරතාවලියේදී සිය දස්කම් දැක්වූහ. ජූලි මස අවසන් සතියේ ආරම්භ වූ අන්තර් රෙජිමේන්තු ආධුනික ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 597 දෙනෙක් සහභාගී වූ අතර එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මළල ක්‍රීඩා කුසලතා පරීක්‍ෂා කර අවසන් මහා තරඟයට සහභාගී කරවනු ලැබූහ.

මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ප්‍රමුඛ ශූරතාවලීන් ත්‍රිත්වයම නියෝජනය කරමින් සහභාගී වූ තවත් නිලධාරින් පිරිසක් විසින් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව තරඟාවලියේ අවසන් මහා තරඟය නැරඹීම සඳහා ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපය වෙත කැටුව යන ලදී.

ක්‍රීඩා උළෙලේ ආරම්භය සනිටුහන් කරමින් ශූරතාවලීන් ත්‍රිත්වයම නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා, මළල ක්‍රීඩා කුසලතාවයන් සහ අතීත ජයග්‍රහණයන් අන්තර්ගත වීඩියෝ දර්ශනයක් ප්‍රදර්ශණය කිරීමෙන් අනතුරුව උඩරට, පහත රට සහ සබරගමු සම්ප්‍රදායන් නියෝජනය කරන බෙර වාදකයින් සහ නර්තන ශිල්පීන්ගේ කලා කුසලතා ප්‍රදර්ශනය කරමින් මෙම අවස්ථාව වර්ණවත් කරනු ලැබූහ.

ඉන් අනතුරුව, ශූරතාවලීන් ත්‍රිත්වයෙහිම අවසන් තරඟ ඉසවු පැවැත්වීමෙන් පසුව අවසන් මහා තරඟයන්හී දක්‍ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාව ආරම්භ කෙරිණි.

එහිදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා ක්‍රීඩා උළෙල, 23 වන අන්තර් රෙජිමේන්තු යුද්ධ හමුදා පැරා මළල ක්‍රීඩා ශූරතාවලිය සහ අන්තර් රෙජිමේන්තු ආධුනික ක්‍රීඩා උළෙලෙහි සියලුම අනුශූරයින් වෙත නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය විසින් කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කරනු ලැබීය.

මේ අතර, ත්‍යාග ප්‍රදානෝත්සවයේ දෙවන අදියර යටතේ ශූරතාවලීන් ත්‍රිත්වයේම පළමු අනුශුරතා කුසලාන සහ දක්‍ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට හිමි කුසලාන සහ සහතිකපත් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදා ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු විසින් ප්‍රදානය කරනු ලැබිණි.

තරඟාවලියේ අවසන් මහා තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සමඟින් මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා, 58 වන සේනාංකයේ සේනාංකාධිපති සහ යුද්ධ හමුදා පැරා මළල ක්‍රීඩා කමිටුවේ උප සභාපති බ්‍රිගේඩියර් විපුල ඉහළගේ, යුද්ධ හමුදා අත්පන්දු කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් රාජා ගුණසේකර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ පුහුණු පරීක්‍ෂක බ්‍රිගේඩියර් තුසිත සිල්වා සහභාගී වූහ. ඒ අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා ක්‍රීඩා උළෙල, 23 වන අන්තර් රෙජිමේන්තු යුද්ධ හමුදා පැරා මළල ක්‍රීඩා ශූරතාවලිය සහ අන්තර් රෙජිමේන්තු ආධුනික ක්‍රීඩා උළෙලෙහි දක්‍ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත අත්පොලසන් මධ්‍යයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ගේ සුරතින් කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කරනු ලැබීය.

තරඟාවලියේ සමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ පුහුණු පරීක්‍ෂක බ්‍රිගේඩියර් තුසිත සිල්වා ස්තුති කථාව හා සමාප්ති දේශනය සිදුකරන ලදී. අවසන් මහා තරගයේ දක්‍ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහතින් දැක්වේ;

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මළල ක්‍රීඩා උළෙල - 2022

ශූරතා කුසලානය:

පිරිමි කාණ්ඩය - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය

කාන්තා කාණ්ඩය - ශ්‍රී ලංකා සංඥා බලකාය

දෙවන ස්ථානය:

පිරිමි කාණ්ඩය - ශ්‍රී ලංකා පාබල හමුදාව

කාන්තා කාණ්ඩය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය

23 වන අන්තර් රෙජිමේන්තු යුද්ධ හමුදා පැරා මළල ක්‍රීඩා ශූරතාවලිය

ශූරතා කුසලානය:

පිරිමි කාණ්ඩය - ශ්‍රී ලංකා පාබල හමුදාව

දෙවන ස්ථානය:

පිරිමි කාණ්ඩය - විජයබාහු පාබල රෙජිමේන්තුව

අන්තර් රෙජිමේන්තු ආධුනික ක්‍රීඩා උළෙල

ශූරතා කුසලානය:

පිරිමි කාණ්ඩය - ගැමුණු හේවා බලකාය

කාන්තා කාණ්ඩය - 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

දෙවන ස්ථානය:

පිරිමි කාණ්ඩය - විජයබාහු පාබල රෙජිමේන්තුව

කාන්තා කාණ්ඩය - ශ්‍රී ලංකා සංඥා බලකාය