Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd September 2021 15:00:24 Hours

යුද්ධ හමුදා ආපදා ප්‍රතික්‍රියා පුහුණු මධ්‍යස්ථානයේදී පුහුණුව ලැබූ පුහුණුකරුවන් 40 දෙනෙකු විසිරයයි

ගම්පොල පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතික්‍රියා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැති ‘ජාත්‍යන්තර සෙවුම් සහ මුදාගැනීමේ උපදේශක කණ්ඩායම’ (International Search and Advisory Group) සඳහා පුහුණුකරුවන් පුහුණුකිරීමේ පාඨමාලාවේ සමාප්තිය සහ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගිය සිකුරාදා (14) දින පැවැත්විණි. ඒ සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විද්වතුන් කිහිපදෙනෙකු ද සම්බන්ධ වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතික්‍රියා පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් අනිල් සෝමවීර ගේ අධීක්‍ෂණය යටතේ පවත්වනු ලැබු මෙම පුහුණු පාඨමාලාව 2021 සැප්තැම්බර් මස 13 දින සිට සැප්තැම්බර් මස 17 දින දක්වා පැවැත්විණි.

කොළඹ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සමඟ සම්බන්ධතාවයෙන් යුතුව සංවිධානය කරනු ලැබු මෙම පාඨමාලාව සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 20 දෙනෙක්, නාවික හමුදා සාමාජිකයින් 05 දෙනෙක්, ගුවන් හමුදා සාමාජිකයින් 05 දෙනෙක්, පොලිස් හා විශේෂ කාර්ය බලකා සාමාජිකයින් 05 දෙනෙක් සහ ගිනි නිවීමේ ඒකකයේ සාමාජිකයින් 05 දෙනෙකු සහභාගී වූහ.

මෙම උත්සවයේ සමාරම්භක දේශනය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරල් මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ (විශ්‍රාමික) විසින් සිදුකරන ලදී. මෙම පාඨමාලාව ආපදා සහන කටයුතුවලට සෘජුවම සම්බන්ධ වන සංවිධාන හා ආයතනවල උපදේශකයින් ඇතුළු නිලධාරින්ගේ දැනුම වැඩිදියුණු කිරිමේ අරමුණින් සංවිධානය කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතික්‍රියා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැති ‘ජාත්‍යන්තර සෙවුම් සහ මුදාගැනීමේ උපදේශක කණ්ඩායම’ සඳහා පුහුණුකරුවන් පුහුණුකිරීමේ මෙම පාඨමාලාවේ අවසන් ඒකාබද්ධ අභ්‍යාසය සමාප්ති උත්සවයට පැය කිහිපයකට පෙර කොත්මලේ ජලාශය අසලදී පැවැත්විණි.

හදිසි නායයෑම් අවස්ථාවකදී ගලවා ගැනීමේ මෙහෙයුමක් ආශ්‍රයෙන් පවත්වනු ලැබූ පාඨමාලාවේ අවසන් ඒකාබද්ධ අභ්‍යාසයේදී කඩා වැටුණු පස්මත සිරවු පුද්ගලයින් සෙවීමේ සහ ඔවුන් මුදාගැනීමේ මෙහෙයුම, පාඨමාලාව සඳහා සහභාගි වු සියලුදෙනා පාඨමාලාවේදී ලද නිය්‍යාත්මක හා ප්‍රායෝගික දැනුම යොදාගනිමින් ප්‍රතිඵලදායී ලෙස ඉදිරිපත් කරන ලදී.

‘ජාත්‍යන්තර සෙවුම් සහ මුදාගැනීමේ උපදේශක කණ්ඩායම’ (International Search and Advisory Group) යනු නාගරික සෙවීම්, ගලවා ගැනීමේ සහ මෙහෙයුම් ක්ෂේත්‍ර සම්බන්ධීකරණය සඳහා කැපවු ආපදා අවදානම සහ ආපදාවන්ට ප්‍රතිචාර දක්වන රටවල් සහ සංවිධානවලින් සමන්විත ජාලයකී.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ ජාතික වැඩසටහන් නිලධාරි වෛද්‍ය සපුමල් ධනපාල සහ ආසියාවේ හා පැසිෆික් කලාපයේ ජාත්‍යන්තර සෙවීම් සහ මුදාගැනීමේ උපදේශක කණ්ඩායමේ මහලේකම් හාරුකා එසාකි මහත්මිය (Ms. Haruka Esaki) මෙම සමාප්ති උත්සවයේදී මාර්ගගත ක්‍රමවේද ඔස්සේ සම්බන්ධ වී ඔවුන්ගේ විශේෂඥ දැනුම හුවමාරු කරගත්හ.