Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd November 2022 10:00:53 Hours

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු එල්ලේ තරඟාවලිය - 2022 සාර්ථකව අවසන්

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු එල්ලේ තරගාවලිය - 2022 මෙවරත්, එනම් නොවැම්බර් මස 14 - 21 දිනයන්හිදී, දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. තරඟාවලිය සඳහා යුද්ධ හමුදාවේ කාන්තා බළඇණි පහක් ඇතුළුව යුද්ධ හමුදා රෙජිමේන්තු දහසයකට අයත් එල්ලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 450 කට අධික සංඛ්‍යාවක සහභාගී වූහ.

පිරිමි කාණ්ඩයේ අවසන් මහා තරඟය සඳහා ශ්‍රී ලංකා පාබල හමුදා එල්ලේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා පිරිමි එල්ලේ කණ්ඩායම තරඟ කළ අතර, 4 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා එල්ලේ කණ්ඩායම සහ 5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා එල්ලේ කණ්ඩායම කාන්තා කාණ්ඩයේ අවසන් මහා තරගයට තේරී පත්වූහ.

අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකා පාබල හමුදා එල්ලේ කණ්ඩායම ශූරතාවය හිමිකර ගත් අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා පිරිමි එල්ලේ කණ්ඩායම අනු ශූරතාවයත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජාතික ආරක්‍ෂක බළමුළුවේ එල්ලේ කණ්ඩායම තෙවන ස්ථානයත් දිනාගැනීමට සමත් වූහ.

අන්තර් රෙජිමේන්තු එල්ලේ ශූරතාවලිය - 2022 දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාන්‍ය සෙබල එන්.සී බාලසූරිය සම්මානය හිමිකර ගත් අතර, දක්‍ෂතම පන්දු රකින්නා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් ආර්.ඒ.එස්.එච් ජයරත්න සහ දක්‍ෂතම පිතිකරුට හිමි සම්මානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සාමාන්‍ය සෙබල ඩී.ඒ.ඩී.සී. කල්හාර විසින් දිනාගනු ලැබීය.

කාන්තා කාණ්ඩයේ අවසන් මහා තරඟයේදී, 5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා එල්ලේ කණ්ඩායම ශූරතාවයත්, 4 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා එල්ලේ කණ්ඩායම අනුශූරතාවයත් හිමිකර ගත් අතර, තෙවන ස්ථානය හිමිකරගැනීමට 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කණ්ඩායම සමත්විය.

අන්තර් රෙජිමේන්තු එල්ලේ ශූරතාවලිය - 2022 කාන්තා කාණ්ඩයේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස 5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය නියෝජනය කරමින් කෝප්‍රල් එම්.එන්.එල්.කේ. දමයන්ති සම්මානය හිමිකර ගත් අතර, දක්‍ෂතම පන්දු රකින්නිය ලෙස ලාන්ස් කෝප්‍රල් කේ.සී.කේ. සමන්මලී සහ දක්‍ෂතම පිතිකාරිනියට හිමි සම්මානය ලාන්ස් කෝප්‍රල් වී.පී.වයි ධර්මදාස විසින් දිනාගන්නා ලදී.

අවසන් මහා තරඟය නැරඹීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු සහභාගී වූ අතර, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය, යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් හිරෝෂ වනිගසේකර, විධායක ජෙනරාල් මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ, යුද්ධ හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකවරුන්, බලසේනාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ ක්‍රීඩාලෝලීන් විශාල පිරිසක් එක්වූ අතර තරඟ නැරඹිම සඳහා පැමිණි ප්‍රේක්‍ෂකයන් වෙනුවෙන් පැවති විවිධ අංගයන් රැසකින්ද සමන්විත විය.

අවසන් මහා තරඟයෙන් පසු ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු තවත් ආරාධිත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් ජයග්‍රාහී කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ත්‍යාග, කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කළහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා එල්ලේ කමිටුවේ සභාපති සහ ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ගේ උපදෙස් මත එම කමිටුවේ සාමාජිකයින් විසින් යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලය සමඟ සම්බන්ධතාවයෙන් අන්තර් රෙජිමේන්තු එල්ලේ ශූරතාවලිය - 2022, පැවැත්වීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබීය.