Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th January 2022 21:04:18 Hours

යාපනයේ පාසල් සිසුන්ට පාසල් උපකරණ පරිත්‍යාගයක්

අඩු ආදායම්ලාභි පවුල්වල දරු දරියන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමේ අරමුණ පෙරදැරීව ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 521 වන බලසේනාවේ භටපිරිස් තෛපොංගල් දිනයට සමගාමීව පාසල් උපකරණ කට්ටල 50 ක් පරිත්‍යාග කරන ලදී. එම ප්‍රදේශයේ තෝරාගත් පාසල් සිසුන් 50 දෙනෙකු වෙත උඩුප්පිඩ්ඩි බාලිකා විද්‍යාලයේදී පැවැති උත්සවයකදී ඉකුත් බ්‍රහස්පතින්දා (13) දින මෙම පාසල් උපකරණ පරිත්‍යාග කෙරිණි.

අච්චුවේලි ප්‍රදේශයේ පිහිටි ‘ස්ටාර් ෆුඩ් සිටි’ හිමිකරු ශ්‍රී ක්‍රිෂ්ණමේනන් මහතා, සුගන්ධි මහත්මිය ඇතුළු පරිත්‍යාගශීලී ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකුගේ අනුග්‍රාහයකත්වය ඇතිව බලසේනාධිපතිතුමන් ඇතුළු සියලුම නිලධාරින් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල දරු දැරියන්ගේ අවශ්‍යතාවයන් සැලකිල්ලට ගනිමින් මෙම පරිත්‍යාග වැඩසටහන දියත් කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ලබාදුන් උපදෙස් මත 52 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සමන්ත වික්‍රමසේන ගේ අධීක්‍ෂණය යටතේ 521 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.එම්. සල්වතුර විසින් මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 52 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සමන්ත වික්‍රමසේන සහභාගි වු අතර උතුරු පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඉලංගෝවන් මහතා ද ගෞරවනීය ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී විය.

තවද, මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි වූහ.