Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th July 2022 09:50:00 Hours

මැනිං ටවුන් හි ස්ථාපිත යුද්ධ හමුදා විවාහක නිවාස සංකීර්ණය වෙත නවතමයෙන් ‘Seva Vanitha Budget Centre’ සංකීර්ණයක්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී ජානකී ලියනගේ මැතිණියගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (28) දින පැවති උත්සවයකදී නාරාහේන්පිට මැනිං ටවුන් හි ස්ථාපිත යුද්ධ හමුදා විවාහක නිවාස සංකීර්ණ පරිශ්‍රයේ ඉදිකරන ලද ‘Seva Vanitha Budget Centre’ සංකීර්ණය යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා විවෘත කරන ලදී. මෙමගින් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුභසාධන කටයුතු තව දුරටත් පහසු වනු ඇත.

නවතමයෙන් ඉදිකරන ලද ‘Seva Vanitha Budget Centre’ හි කුඩා සුපිරි වෙළඳසැලක්, බේකරියක්, පළතුරු බීම හලක්, රූපලාවන්‍යාගාරයක්, පිරිමින් සඳහා කරණවෑමි හලක් සහ මැහුම් හලක් ආදී පහසුකම්වලින් සමන්විත වන අතර, සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලද මහල් ගොඩනැගිල්ල තුල රැස්වීම්, උත්සව කටයුතු සඳහා භාවිතා කළ හැකි කුඩා උත්සව ශාලාවකින්ද සමන්විත වේ.

එම අවස්ථාව සඳහා සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී ජානකී ලියනගේ මැතිණිය, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ උප සභාපතිනී සභාපතිනී ශිරෝමාලා කොඩිතුවක්කු මහත්මිය විසින් පිළිගනු ලැබූ අතර, අනතුරුව මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ නවතමයෙන් ඉදිකරන ලද ‘Seva Vanitha Budget Centre’ සංකීර්ණයෙහි හි සමරු ඵලකය නිරාවරණය කිරීමට යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ආරාධනා කරන ලදී.

අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු පිරිස විසින් පොල් තෙල් පහන දල්වා සම්ප්‍රදානුකූල චාරිත්‍රයන් සිදුකිරීමෙන් පසුව ‘Seva Vanitha Budget Centre’ සංකීර්ණය විවෘත කරන ලදී.

පසුව, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ‘Seva Vanitha Budget Centre’ සංකීර්ණ පරිශ්‍රයෙහි පිහිටි කුඩා සුපිරි වෙළඳසැල, රූපලාවන්‍ය මධ්‍යස්ථානය සහ කරණවෑමිහල වෙත ගොස් එහි රාජකාරි කරනු ලබන කාර්ය මණ්ඩලය සමඟ සුහද කතා බහකද නිරත වූ අතර, එහිදී එතුමන් විසින් එම කාර්ය මණ්ඩලය වෙත සාප්පු සංකීර්ණයේ සේවාවන් ඉහළම ප්‍රමිතියකින් සහ ගුණාත්මක භාවයකින් යුතුව පවත්වාගෙන යාමේ ඇති වැදගත්කම පිළිබඳවද අවධාරණය කළේය. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පළමු මහලේ පිහිටි කුඩා උත්සව ශාලාව වෙත ගොස් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ විධායක සාමාජිකයින්, නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟද සුහඳ කතාබහක නිරත වූහ.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී ජානකී ලියනගේ මැතිණිය සහ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුගේ අධීක්‍ෂණය යටතේ ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් මාස කිහිපයක් ඇතුළත ‘Seva Vanitha Budget Centre’ සංකීර්ණයෙහි වැඩකටයුතු අවසන් කරන ලදී.

මෙම උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය, යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් හිරෝෂ වනිගසේකර, මූල්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර, යුධෝපකරණ සේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් විතානාච්චි, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ උප සභාපතිනී ශිරෝමාලා කොඩිතුවක්කු මහත්මිය සහ එහි ලේකම් ධනුෂා සන්තුෂ්මි වීරසූරිය මහත්මිය ඇතුළු සාමාජිකාවන්, කර්නල් නලින්ද්‍ර මහවිතාන, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ කර්නල් සම්බන්ධීකරන නිලධාරී, නිලධාරීන් සහ සෙසුනිලයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.