Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st July 2020 11:19:57 Hours

මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා ආදි ශිෂ්‍ය සංගමය පිහිටුවයි

මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලංකා ආදි ශිෂ්‍ය සංගමය පිහිටුවීමේ සමාරම්භක උත්සවය අද (30) දින සන්ධ්‍යාවේ කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහභාගි වූ අතර ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති චාජ් ඩැෆයර්ස් මහතා (Chargé D'affaires) සහභාගි වූහ. එම උත්සව අවස්ථාවට ගෞරවයක් සහ ප්‍රමුඛත්වයක් එක්කරමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති, ගුවන් හමුදාපති ඇතුළු මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන් රැසක් සහභාගි වූහ.

චීන ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ උපාධිධාරීන් සිය ගණනක් අතර අන්‍යෝන්‍ය සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම ආදි ශිෂ්‍ය සංගමය ශ්‍රී ලංකාවේ පිහිටවනු ලබයි. එම උපාධිධාරින්ගෙන් බහුතරයක් යුද, නාවික හා ගුවන් හමුදාවේ සේවය කරයි. තවද, මෙම සංගමය පිහිටුවීම තුළින් වෘත්තීය සම්බන්ධතා ජාලය සහ ජාතික හා ජාත්‍යන්තර සම්බන්ධතා සඳහා මානව සම්පත් සමූහයක් ප්‍රවර්ධනය කිරීමට ද අපේක්ෂා කෙරේ.

ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන් වෙනුවෙන් සංවිධායක කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) විජිත රවිප්‍රිය විසින් පිළිගැනීමේ දේශනය සිදුකරමින් මෙම අවස්ථාවට සපැමිණි සම්භාවනීය අමුත්තන් උණුසුම් අයුරින් පිළිගෙන උත්සවයේ අරමුණ පිළිබඳව පැහැදිලි කළේය.

මෙම ආදී ශිෂ්‍ය සංගමය පිහිටුවීම සංකේතවත් කරමින් දවසේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ විධිමත් ලාංඡනය එළිදැක්වීමෙන් අනතුරුව එහි ප්‍රකාශය කියවිය.

කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් චැං ඩොං (Senior Colonel Chang Dong) මෙම අවස්ථාවට සුබපැතුම් එක් කළ අතර මෙලෙස ශ්‍රී ලංකාවේ ආදි ශිෂ්‍ය සංගමයක් ආරම්භ කිරීම පිළිබඳව සිය කෘතඥතාවය පළ කළේය.

මෙම ආදි ශිෂ්‍ය සංගමයේ සමාරම්භක අවස්ථාවට එම ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන් වන ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගි වූහ.

අද (30) දින වනවිට, වර්ෂ 2001 සිට මේ දක්වා හමුදා නිලධාරීන් 75 කට වැඩි පිරිසක් චීන ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලය වෙතින් උපාධිය ලබා ඇත. Nike shoes | Sneakers