Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd September 2021 08:10:51 Hours

බ්‍රිගේඩියර් ලංකා අමරපාල පිලිපීනයේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය විශිෂ්ඨ සම්මාන සහිතව පිදුම් ලබයි

පිලිපීනයේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල ඉතිහාසයේ ප්‍රථම වරට ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවේ (National Security Administration Regular Course-56 2020/2021) හොඳම නිබන්ධනය සඳහා රන් පදක්කම සහ අධ්‍යයන විශිෂ්ඨත්වය සඳහා ලෝකඩ පදක්කම යන පදක්කම් දෙකෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බ්‍රිගේඩියර් ලංකා අමරපාල පිදුම් ලැබූවේය. එම පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවය ඉකුත් සිකුරාදා (17) දින පිලිපීනයේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි.

පිලිපීනයේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සඳහා වන ජාතික ආරක්‍ෂක පරිපාලන පාඨමාලාව සඳහා ජාත්‍යන්තර උපාධි අපේක්‍ෂකයින් 83 ක් සහභාගී වූ අතර එම පාඨමාලාවේදී පිරිනැමෙන මෙම විශිෂ්ඨතා සම්මාන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බ්‍රිගේඩියර් ලංකා අමරපාල විසින් හිමිකරගත්හ. පිලිපීනයේ ක්විසෝන් නගරයේ (Quezon City) ජෙනරල් එමිලියෝ ඇගුයිනල්ඩෝ (General Emilio Aguinaldo) කඳවුරේදී පැවැත්වූ මෙම පාඨමාලාව පිලිපීන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ද හදාරන ලදී.

ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලාව සඳහා යුද්ධ, නාවික හා ගුවන් හමුදා නිලධාරීන් මෙන්ම පෞද්ගලික හා රාජ්‍ය අංශයේ නිලධාරීන්, තාක්‍ෂණික හා පරිපාලන සේවා, නීති අංශ අයදුම්කරුවන් ආදී ක්ෂේත්‍රයන් නියෝජය කරමින් බොහෝ රටවල් වලින් තෝරාගත් උපාධි අපේක්‍ෂකයින් සහභාගී වූහ.

මෙම උපාධි පාඨමාලාවේදී බ්‍රිගේඩියර් ලංකා අමරපාල රන් හා ලෝකඩ යන පදක්කම් දෙකම දිනාගනිමින් මෙම කීර්තිමත් අධ්‍යයන විශිෂ්ඨත්වයෙන් පිදුම් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වීම සුවිශේෂි කරුණකි. බ්‍රිගේඩියර් ලංකා අමරපාල හිමිකරගත් මෙම ජයග්‍රහණය එතුමන්ගේ රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවටත් යුද්ධ හමුදාවටත් සමස්ථ රටටත් ඉමහත් කීර්තියක් අත්කරදෙනු ඇත.

වර්ෂ 1963 දී ආරම්භ කරන ලද පිලිපීනයේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලය අධ්‍යාපන, පුහුණුව සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳ පිලිපීන රජයේ ඉහළම පර්යේෂණ මධ්‍යස්ථානය වේ. පිලිපීනයේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ වසරක පමණ කාලයක් පවත්වනු ලබන මෙම ජාතික ආරක්‍ෂක පරිපාලන පාඨමාලාව ජාතික ආරක්‍ෂක ප්‍රතිපත්ති සම්පාදනය සහ පරිපාලනය යන විෂය ක්ෂේත්‍රයන් ආවරණය කරමින් පවත්වන එකම උපාධි පාඨමාලාව වේ.