Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th September 2021 09:15:53 Hours

පුරා සතියක් මුළුල්ලේ ඓතිහාසික මිරිස වැටිය විහාර පරිශ්‍රයේ පැවති සෙත් පිරිත් සජ්ඣායනාවේ සමාප්තිය යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගීත්වයෙන්

කොවිඩ් - 19 වෛරසය හමුවේ ශ්‍රී ලංකාවාසීන්ට සහ ලෝකවාසීන්ට ආශීර්වාද පතා අනුරාධපුර මිරිසවැටිය විහාරස්ථාන පරිශ්‍රයේ සතියක් පුරාවට පැවති සෙත්පිරිත් සජ්ඣායනාව පසුගිය සඳුදා (13) දින සන්ධ්‍යාවේ පැවති බුද්ධ පූජා පිංකමෙන් අනතුරුව අවසන් කරන ලදී.

මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් මස 06 දින සිට සතියක් පුරා පැවැත්වූ මෙම දිවා රාත්‍රි පිරිත් සජ්ඣායනා ආශිර්වාද පුණ්‍ය වැඩසටහන ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ක්‍රිඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධතාවයෙන් සංවිධානය කරනු ලැබිණි.

මෙම අවස්ථාව සඳහා ගරු තරුණ හා ක‍්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්‍ෂණ සහ ඩිජිටල් තාක්‍ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මැතිතුමන්, ගරු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මැතිතුමන්, ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මැතිතුමන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධාන සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු රාජ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

තවද, මෙම සමාප්ති උත්සව අවස්ථාව සඳහා අටමස්ථානාධිපති අති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාසාභිධාන නායක හිමිපාණන්, රුවන්වැලි මහා සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමිපාණන් සහ 'මිරිසවැටිය' රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමිපාණන් ඇතුලු ස්වාමින් වහන්සේලා වැඩම කළහ.

මෙම පිරිත් සජ්ඣායනාව අවසනයේ මහා සංඝරත්නයේ ‘හමාර දේශනාව’ පැවැත්වූ අතර එහිදි මහ සංඝ රත්නය විසින් කෙටි අනුශාසනාවක්ද සිදුකරන ලදී. මෙම අවස්ථාව සඳහා පවතින සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ඉතා සීමිත පිරිසක් සහභාගී වූහ.