Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th September 2021 15:22:43 Hours

පැරාලිම්පික් - 2020 උළෙලේදී නව ලෝක වාර්තාවක් සමගින් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් ක්‍රීඩකයින් දෙපල ක්‍රීඩා අමාත්‍යාංශයේදී මහත් හරසරින් යුතුව පිළිගනි

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී රන් පදක්කමක් සමගින් නව ලෝක වාර්ථාවක් පිහිටවූ දිනේෂ් ප්‍රියන්ත සහ ලෝකඩ පදක්කම් දිනා ගත් දුලාන් කොඩිතුවක්කු ඇතුලු ක්‍රීඩකයින් දිවයිනට පැමිණීමෙන් පසු අද (8) දින නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ පිහිටි ක්‍රීඩා අමාත්‍යංශයේදී ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්‍ෂ, රාජ්‍ය අමාත්‍ය ගරු සේනුක විදානගමගේ සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ අමාත්‍යංශ නිලධාරීන් පදක්කම්ලාභීන් පිළිගැනීමෙන් අනතුරුව ඔවුන් සමග සුහඳ පිළිසඳරක නිරත වූහ.

ටෝකියෝ පැරාලිම්පික් තරඟාවලියේදී රන් පදක්කමක් දිනාගත් ගජබා රෙජිමේන්තුවේ බළලත් නිලධාරි 1 දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා පොලිස් හේවා බලකායේ කෝප්‍රල් දුලාන් කොඩිතුවක්කු සමග පැවති මෙම විශේෂ හමුවේදී බළලත් නිලධාරි 1 දිනේෂ් ප්‍රියන්ත හේරත් ප්‍රකාශ කර සිටියේ ටෝකියෝ පැරාලිම්පික් - 2020 සඳහා සහභාගී වීමට ප්‍රථම ක්‍රීඩා ඇමතිතුමන්ට සහ යුද්ධ හමුදාධිපතිතුමන්ට මෙන්ම තම පුහුණු කරුට පොරොන්දු වූ පරිදි තම යුතුකම ඉටුකිරීමට හැකිවූ බවයි.

මෙම හමුවේදී පදක්කම් ලාභීන්ට සහ පුහුණුකරුට ප්‍රශංසා කළ ක්‍රීඩා අමාත්‍යතුමන්, ඉදිරියේදීත් මෙවැනි ජයග්‍රහණ ලබාගැනීම සඳහා අවශ්‍ය සියලු සහයෝගය සහ දිරිගැන්වීම් ලබාදෙන බව සඳහන් කරමින් ඔවුන්ගේ ඉදිරි අනාගත අවශ්‍යතා පිළිබදවද අදහස් විමසා සිටියහ.

මෙම හමුවට සහභාගී වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ ජාතික ක්‍රීඩා කමිටුවේ සභාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී රන් පදක්කමක් සමගින් නව ලෝක වාර්ථාවක් පිහිටු වමින් රටට මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට මහත් කීර්තියක් අත්කරදුන් පදක්කන්ලාභීන්ට උණුසුම් සුභ පැතුම් පිරිනැමූහ.

පවතින කොවිඩ්-19 වෛරස් තත්ත්වය අවසන් වූ පසු යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලය සමග සම්බන්ධතාවයෙන් පදක්කම්ලාභීන්ට උපහාර දැක්වීමේ උත්සවයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළ යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම ලෝක වාර්ථාව ජාතික කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාව පිළිබද නව දැක්මක් සහ විශ්වාසයක් මෙන්ම ශක්තියක් වන බවත් සන්නද්ධ හමුදා ක්‍රීඩා අංශයන්හී දක්‍ෂතාවයන් වසර ගණනක සිට කැපි පෙනෙන ලෙස වර්ධනය වී ඇති බවඳ හෙතෙම සඳහන් කළේය.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය ගරු සෙනුක විදානගමගේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා, අතිරේක ලේකම් චන්ද්‍රරත්න පල්ලේගම මහතා, ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා, ක්‍රීඩා වෛද්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ලාල් විජේනායක මහතා, ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජික සෙව්යා මුත්තෙට්ටුවගම මහත්මිය සහ ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමේ ප්‍රධානී-මේජර් ජෙනරාල් (විශ්‍රාමික) රාජිත අම්පෙමොහොට්ටි සහ තවත් මහත්ම මහත්මීන් කිහිප දෙනෙකු සහභාගී වූහ .

මේ දක්වා යුද්ධ හමුදාවෙන් ජාත්‍යන්තර පදක්කම් ලාභීන් සැලකිය යුතු ප්‍රමාණයක් බිහිකර ඇති අතර එහි ජාත්‍යන්තර පදක්කම් ලාභීන්ගේ ලැයිස්තුවට මේජර් ඩන්කන් වයිට්, කෝප්‍රල් සුසන්තිකා ජයසිංහ, මාණ්ඩලික සැරයන් ප්‍රදීප් සංජය, මාණ්ඩලික සැරයන් එච්.ඒ.සී හෙට්ටිආරච්චි ඇතුළත් වේ. ඊට අමතරව, පසුගිය වසර කිහිපය තුළ දී, යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් යුද්ධ හමුදාවට ගෞරවයක් අත්කර දෙමින් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු විවිධාංගීකරණය වූ ක්‍රීඩා ක්‍ෂේත්‍රයන්හි ජාතික කණ්ඩායම් සඳහා රට නියෝජනය කරමින් සහභාගී වී ඇත.

මේ දක්වා යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔලිම්පික් පදක්කම් 02 ක්, පැරාලිම්පික් පදක්කම් 04 ක්, ලෝක ශූරතා පදක්කම් 98 ක්, ලෝක හමුදා තරඟාවලියෙන් පදක්කම් 10 ක්, පොදුරාජ්‍ය මණ්ඩල මළල ක්‍රීඩා ඉසව්වන්හී පදක්කම් 26 ක්, ආසියානු ක්‍රීඩා තරඟාවලියේ පදක්කම් 279 ක්, ලුෆ්තන්සා තරඟාවලියේ පදක්කම් 23 ක් සහ විවිධ ජාත්‍යන්තර ක්‍රීඩා වලදී තවත් පදක්කම් 22 ක් දිනාගෙන ඇත.