Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th December 2018 22:13:42 Hours

ප්‍රීතිමත් නත්තලක් වෙනුවන් සුභාශිංසන !

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු සියළුම නිලධාරීන්, යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් ලෝකය පුරා විසිරී සිටින අපගේ පාඨකයන් හට ප්‍රීතිමත් නත්තලක් ප්‍රාර්ථනා කරන්නෙමු !

යුද්ධ හමුදාධිපතිතුමාගේ නත්තල් පණිවුඩය පහතින් දැක්වේ ;

සාමයේ පණිවුඩය මුළු ලොවටම කියාපාන ‘නත්තල් උත්සවය’ සැමරීමට එක්වන ලෝකවාසී කිතුණු ජනාතාව සමඟ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලුම කිතුණු බැතිමතුන් වෙත මාගේ බැතිබර සුභාශිසන පිරිනමමි.

දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් ලෙස සැලකෙන ක්‍රිස්තුස් වහන්සේගේ අසිරිමත් උපත මානව ඉතිහාසයේ සිදු වූ සුවිශේෂී සන්ධිස්ථානයකි. මුළු මහත් විශ්වයම එනම්, සොබා දහම පවා ජේසු බිළිඳුන්ගේ උපතත් සමඟ ප්‍රීතිමත් විය. එතුමා උපන් දුප්පත් එඬේරාගේ ගවලෙනේ පටන් රජමැදුර දක්වා එකසේ සාමයේ සමානත්වයේ හා සංහිඳියාවේ මාර්ගය කියන්නට කැප වූ ඒ අසිරිමත් මිනිසාගේ උපත සමරන මේ නත්තල වඩා යහපත් වූ අසිරිමත් ලොවක් ගොඩනැඟීමට සපයන ආදර්ශය ඉමහත්ය.

උන් වහන්සේ ජාති, ආගම්, කුළ, වර්ණ ආදී වූ භේදයන් පසෙකලා සමස්ත ලෝකයාට එකසේ සැලකු අතර, සහෝදරත්වය, සදාකාලික සාමය, සහජිවනය නිරන්තරයෙන් ලොව තුළ වැපැරිය යුතු බව දෙසුහ. “ සියල්ලන්ටම ප්‍රේම කිරීම” යනුවෙන් වූ විශ්වීය දර්ශනයක් දේශනා කළ ක්‍රිස්තුන් වහන්සේ සුඛිත මුදිත මානව සමාජයක් ගොඩනැඟීම උදෙසා උතුම් නත්තලේදී ලොවට කියා පෑ ආදර්ශය ශ්‍රී ලාංකේය පුරවැසියන් ලෙස අපට ඉතාමත් වැදගත්ය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ලෙස අප සියලු දෙනා යුධ සමයේ මෙන්ම වර්තමාන සාමකාමී වටපිටාව තුළද කිතුණු බැතිමතුන් සමඟ එක්ව කටයුතු කරමින් සිය ආගමික යහපැවැත්ම හා කිතුණු ආගමේ උන්නතිය උදෙසා ඇප කැප වී කටයුතු කිරීම පිළිබඳව බෙහෙවින් සතුටු වන බව මේ බැතිබර මොහොතේ මම සිහිපත් කර සිටිමි.

අන්‍යෝන්‍ය සුහදතාවයෙන්, අවබෝධයෙන් යුත් සාමකාමී ජන සමාජයක් බිහිකිරීමේදී කිතුණු ප්‍රජාව වශයෙන් ඔබ සැම දක්වන දායකත්වය සුවිශේෂී වැදගත්කමකින් යුක්තය. රටේ අනාගත අභිවෘද්ධිය මෙන්ම තිරසාර සාමයේ හා සංහිඳියාවේ අඛණ්ඩ පැවැත්ම උදෙසා කිතුණු ප්‍රජාව ලෙස ඔබ සැමගේ නොමඟ සහයෝගය අපේක්‍ෂා කරමින් උදා වූ නත්තල ලෝකවාසී සියලු දෙනා සමඟ සාමයේ හා සහෝදරත්වයේ පණිවුඩය හුවමාරු කරගන්නා අරුත්බර වූ සුබ නත්තලක් වේවායි ප්‍රාර්ථනා කරමි. Authentic Sneakers | Top Quality adidas Yeezy 700 V3 "Eremiel" GY0189 , Ietp