Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th July 2022 18:24:46 Hours

නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ධම්මි හේවගේ වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුබපැතුම්

වසර 35 කට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන අධ්‍යක්‍ෂ ජෙනරල් පාබල ශ්‍රී ලංකා ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ධම්මි හේවගේ බ්‍රහස්පතින්දා (28) දින සිය පවුලේ සාමාජිකයන් සමඟින් යුද්ධ හමුදා මුලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.

මෙම සුහද හමුව අතරතුරදී, යුද්ධ හමුදාව තුළ විවිධ තනතුරු හොබවමින් මේජර් ජෙනරල් ධම්මි හේවගේ සිදුකරනු ලැබූ සේවය සහ එතුමන්ගේ පක්‍ෂපාතීත්වය මෙන්ම අවංකභාවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ඇගයීමට ලක්විය.

මෙම හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් 2009 මැයි මාසයට පෙර පාබල සෙබළෙකු ලෙස මේජර් ජෙනරල් ධම්මි හේවගේ ත්‍රස්තවාදයට එරෙහි පැවැති කුරිරු යුද්ධයේ අවසන් මොහොතේ තම මව්බිම වෙනුවෙන් සිදුකළ අමිල කැපකිරීම සහ නිර්භීත භූමිකාවන් පිළිබඳ මතකයන් නැවත ආවර්ජනය කළේය. තවද, “සතුරාට එරෙහිව සටන් කිරීම සඳහා ඉතා දරුණු මෙහෙයුම් පැවැති අවධියේ ඔබ නිර්භීතව ඉදිරියට ගොස් විශේෂ බලකාය සමඟ සම්බන්ධව පාබල හමුදා සෙබළෙකුට කළ හැකි උපරිම සේවය සිදුකරමින් තම නිර්භීතකම යුද පිටියේදී විදහා පෑවා” යනුවෙන්ද යුද්ධ හමුදාධිපතිතුමන් එහිදි මේජර් ජෙනරල් ධම්මි හේවගේ ගේ වීරත්වය ඇගයීමට ලක්කළේය.

මීට අමතරව, යුද්ධ හමුදාවේ ඉතා දක්‍ෂ උපදේශකයකු ලෙස ඔහු විසින් ඉටු කරන ලද කාර්යභාරය ඉතා ඉහළින් අගය කළ යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් ධම්මි හේවගේ ගේ අනාගත බලාපොරෙත්තු සහ ඉදිරි සැලසුම් පිළිබඳව අදහස් කිහිපයක් ද බෙදා ගත්තේය.

ගජබා රෙජිමේන්තුවෙන් බිහිවූ මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි එතුමන්ගේ යුද්ධ හමුදා සේවා කළය තුළ අවසන්වරට යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරල් පාබල ධූරයේ රාජකාරි සිදුකළ අතර, තවද එතුමන් යුද්ධ හමුදාවේ විවිධ ධූරයන් හොබවමින් ප්‍රධාන අණදෙන නිලධාරි, මාණ්ඩලික නිලධාරි සහ උපදේශක පත්වීම් රාශියක් ඉතා මැනවින් ඉටු කරන ලදී. මෙම සුහද හමුවේදී යුද්ධ හමුදාපතිතුමන් එම අවස්ථාවට සහභාගී වූ එතුමන්ගේ පවුලේ සාමාජිකයින් සමග අදහස් හුවමාරු කරගනිමින් සේවයෙන් නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත සිය රාජකාරී ඉටුකිරීමේදී ඔවුන් ලබාදුන් සහයෝගය සහ ධෛර්යය වෙනුවෙන් ස්තුතිය පුද කළේය.

මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් ධම්මි හේවගේ සිය අදහස් දක්වමින් තම වෘත්තීය ජීවිතය තුළ දී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් සහයෝගය, මඟපෙන්වීම, උපදෙස්, දිරිගැන්වීම් සහ සුබපැතුම් වෙනුවෙන් ද සිය ස්තූතිය පුදකළේය.

මෙම සුහද හමුව සමාප්තියේ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් මේජර් ජෙනරල් ධම්මි හේවගේ වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.