Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th March 2020 22:15:26 Hours

නිරෝධායන ක්‍රියාවලියට භාජනය වූ දෙවන කණ්ඩායම ද සිය නිවෙස් කරා යාමට සූදානම් බව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි

රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ‘කොඩිඩ් - 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ’ දී අද (24) දින සංධ්‍යාවේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාව වෙනුවෙන් එම මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙන්ම විශේෂඥ්‍ය වෛද්‍ය අනිල් ජාසිංහ සහ සෞඛ්‍ය සේවා (මහජන සෞඛ්‍ය සේවා) නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය පබා පලිහවඩන යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

“යුද්ධ හමුදාව වෙතින් කළමණාකරන කටයුතු සිදුකර‍න ලබන කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ සාමාජිකයින් 108 දෙනෙක්, පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සාමාජිකයින් 203 දෙනෙකු ඇතුළු සාමාජිකයින් 311 දෙනෙක් අද (24) දිනයේ උදෑසන මාතර, මහනුවර සහ කොළඹ ප්‍රදේශ වල ඇති ඔවුන්ගේ නිවාස කරා පිටත්වුණා. ඔවුන්ගේ ගමන් මළු රැගෙන යාම සඳහා යුද්ධ හමුදා ට්‍රක් රථ 6 ක් ද යොදවනු ලැබූවා. එමෙන්ම, යාපනයේ දිස්ත්‍රික්කයේද පුද්ගලයින් 17 දෙනෙකුට කොවිඩ් - 19 වැළඳී ඇති බවට සැක කරනවා. නිරෝධායන මධ්‍යස්ථාන 47 ක විදේශිකයින් 31 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 3224 ක් මේ වන විට නිරෝධායන කටයුතු වල නිරත වනවා.” යනුවෙන් ‘කොඩිඩ් - 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ’ ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.

“එසේම, කණ්දකාඩු සහ පූනානි නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන කටයුතුවල නිරත වූ පුද්ගලයින් 208 දෙනෙකුගෙන් යුත් දෙවන කණ්ඩායම හෙට (25) දින සිය නිවෙස් බලා පිටත්ව යාමට සූදානම්ව සිටියි. ඔවුන්ට අවශ්‍ය සියලුම ප්‍රවාහන පහසුකම් ද යුද්ධ හමුදාව විසින් සපයනු ඇත.” යනුවෙන් ද ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

සෞඛ්‍ය සේවා (මහජන සෞඛ්‍ය සේවා) නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය විශේෂයෙන් පෙන්වා දුන්නේ මෙම වසංගතය ශ්‍රී ලංකාව තුළ වේගයෙන් ව්‍යාප්ත නොවන බැවින් මහජනතාවට සෑම අවස්ථාවකදීම මුහුණු ආවරණ පැළඳිමේ අවශ්‍යතාවයක් මෙතෙක් පැන නොනැඟී ඇතිබවත් එබැවින් සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්හී නිරත වෘත්තිකයන් පමණක් දැනට එම මුහුණු ආවරණ පැළදීම ප්‍රමාණවත් බවත්ය.

එමෙන්ම මහජනතාවට මෙම මුහුණු ආවරණ පැළදීමේ අවශ්‍යතාවය ඉදිරි කාලයේ උද්ගත වුවහොත් ඒ පිළිබදව දැනුවත් කරන බවද ප්‍රකාශ කළ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය මෙම මුහුණු ආවරණ පැළදීමේ ක්‍රමවේදයන් මෙන්ම එය නිසි ලෙස භාවිතා කිරිම හා පාවිච්චියෙන් පසු ඉවත් කිරිම නිවැරදි ආකාරයෙන් සිදු කළ යුතුව ඇති බවත් කෙසේ වුවත් සාමාන්‍ය පුද්ගලයෙකුට මුල් අවස්ථාවේදී මෙම මුහුණු ආවරණය පැළදීම අපහසුවක් ලෙස දැනෙනු ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය. එමෙන්ම මෙම මුහුණු ආවරණ භාවිතා කරන පුද්ගලයන් එය අනවශ්‍ය අයුරින් ස්පර්ශ කරමින් නුසුදුසු ආකාරයට භාවිිතා කරන්නේනම් එය කොවිඩ් - 19 වෛරස් ආසාදනයට ලක් වීමට ඇති ඉඩකඩ වැඩි බවද ඇය විසින් පවසන ලදී.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා හෙළි කළේ අද දින තවත් කොවිඩ් ආසාදිතයන් සිව් දෙනෙකු පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බවත්, ඒ අනුව එම ආසාදිතයන් ඉතාලියේ සිට පැමිණි තිදෙනෙකු සහ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මෙරටට පැමිණි එක් පුද්ගලයෙකු වශයෙන් තොරතුරු හඳුනාගන ඇති බවත්ය. මේ අනුව ශ්‍රී ලංකාවෙන් දැනට අනාවරණය වී ඇති කොවිඩ් - 19 වෛරස් ආසාදිතයන්ගෙන් බහුතරයක් විදේශීය රටවලින් මෙරටට පැමිණි අය බව මෙයින් තවදුරටත් සනාථ වේ. එමෙන්ම රජය විසින් කොළඹ, ගම්පහ සහ කළුතර ආදී දිස්ත්‍රික්කයන් අධි අවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත් කර ඇති හෙයින් මෙතෙක් හඳුනාගෙන ඇති කොවිඩ් - 19 අසාදිතයන් 102 ක පිරිසකගෙන් වැඩි ප්‍රමාණයක් එම දිස්ත්‍රික්කවලින් අනාවරණය වූ පුද්ගලයන් බවය. මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 10 ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 21 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 13 දෙනෙකු ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. එම ප්‍රදේශවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවත් නැතත්, එම රෝග තවදුරටත් වෙනත් ප්‍රදේශයන් කරා සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා එම දිස්ත්‍රික්කවල මහජනතාව සමාජයට නිරාවරණය නොවි හුදකලාව සිටීම අත්‍යවශ්‍ය වේ. bridgemedia | Women's Nike Superrep