Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd September 2021 08:15:35 Hours

නැගෙනහිර පළාතේ ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයන් කළමනාකරණය කිරීම පිළිබඳ සාකච්ඡාවක්

අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා ඇති සූදානම තක්සේරු කිරීමේ සාකච්ඡාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා (23) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිරදී පැවැත්විණි.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරාල් චන්න වීරසූරිය ගේ මඟපෙන්වීම මත සංවිධානය කරන ලද මෙම සාකච්ඡාවේදී ආපදා අවම කිරීමේ සහ සහන සැලසීමේ කටයුතු සම්බන්ධව අවධානය යොමුකරමින් එළඹෙන ඊසාන දිග මෝසම් කාලයට සූදානම් වීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කෙරිණි.

තවද, ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සහ ප්‍රදේශයේ ආරක්‍ෂක අංශ සාමාජිකයින් සමඟ ඒකාබද්ධව හදිසි ආපදා තත්ත්වයන් කළමනාකරණය කිරීමේ ක්‍රියාවලියක් සැලසුම් කිරීමේ වැදගත්කම මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි. එසේම, පරිසරයට විශාල බලපෑමක් ඇති කරන වැලි ගොඩදැමීම සහ ගස් කැපීම වැනි නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගයන් පිළිබඳව ද මෙහිදි සාකච්ඡා කෙරිණි.

මෙම සාකච්ඡාව සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, 22 වන හා 24 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය හා පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානවල අතිරේක අධ්‍යක්‍ෂවරුන් සහ ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර මාණ්ඩලික නිලධාරින් සහභාගි වූහ.