Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th June 2022 19:01:12 Hours

නව යුද්ධ හමුදාධිපතිතුමන් ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත උණුසුම් අයුරින් පිළිගනී

සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී අද (18) දින පෙරවරුවේ පැවති හමුදා සම්ප්‍රදායානුකූල උපහාර උත්සවයකදී පසුගිය දා යුද්ධ හමුදාධිපති ධූරයේ රාජකාරි ආරම්භ කළ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ධූරයේ රාජකාරි භාරගන්නා ලදී. මෙම අවස්ථාව සඳහා කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 26 හී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වූහ.

24 වන යුද්ධ හමුදාධිපති ලෙස පසුගිය දා රාජකාරි භාරගැනීමෙන් අනතුරුව ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත ප්‍රථම වරට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූලව ගෞරවාචාර පුදකරමින් මෙම අවස්ථාව සඳහා පිළිගනු ලැබීය.

රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පිවිසුම් දොරටුව වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ගජබා රෙජිමේන්තුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ලුතිනන් කර්නල් රාජේන්ද්‍ර විජේරත්න විසින් පිළිගැනීමෙන් අනතුරුව එම රෙජිමේන්තු භටපිරිස් විසින් පිරිනමනු ලබන හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයද එතුමන් වෙත පුදකරනු ලැබූහ.

ඉන් අනතුරුව, ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ වන දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්න සිහිකරමින් එතුමන්ගේ පිළිරුව වෙත නව යුද්ධ හමුදාධිපතිතුමන් පුෂ්පෝපහාර පුදකර සිය ගෞරවාචාරයන් පුදකරනු ලැබීය.

පසුව, උත්සවයේ ප්‍රධානම අවස්ථාව වශයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබූහ. ඒ සඳහා, ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් විශ්වජිත් විද්‍යානන්ද විසින් එතුමන් පිළිගැනීමෙන් අනතුරුව එම රෙජිමේන්තුවේ බලඇණි 20 ක් නියෝජනය කරමින් එක් වූ භටපිරිස් 560 දෙනෙකුගෙන් සැදුම්ලත් පෙළපාලියේ ගෞරවාචාරය පිළිගැනීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ආරාධනා කරන ලදි.

යුද්ධ හමුදාවේ ඉහළම හමුදා ආචාරය ලෙස පිරිනමනු ලබන සම්මාන මුරයේ ගෞරවාචාරය පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පෙළපාලිය පරික්‍ෂා කරනු ලැබීය. ඉන් අනතුරුව, හමුදා සම්ප්‍රදායානුකූල ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිළිගැනීම සඳහා එතුමන් විශේෂ පීඨිකාව වෙත පැමිණියේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගජබා රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි ප්‍රථම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ නා පැළයක් රෝපණය කිරීමට ද එම රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ආරාධනා කරන ලදී.

ඉන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සිටි නිලධාරින් සමඟ සමූහ ඡායාරූපයකට ද යුද්ධ හමුදාධිපතිතුමන් එක්විය. මෙම අවස්ථාවේදී, කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 26 හී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සමඟ ප්‍රථමයෙන් සමූහ ඡායාරූපයකට එක්වූ යුද්ධ හමුදාධිපතිතුමන් දශක කිහිපයකට පෙර ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණුවීම් කාලසීමාව තුළ ලද මතකයන් මෙන්ම ඉන් පසුව වෘත්තීය ගමන් මගෙහි මතකයන් යලි ආවර්ජනය කරන ලදී. ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඒකකය වූ 4 වන ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟින් ද සමූහ ඡායාරූපයකට ද එතුමන් එක්විය.

මෙම උත්සවයට තවත් සුවිශේෂීත්වයක් එක්කරමින් මීට සති දෙකකට පෙර ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ධුරයේ අසමසම සේවාවක් සිදුකළ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම ධූරයෙන් නික්ම යෑමෙන් අනතුරුව එම ධූරයේ රාජකාරි භාරගැනීම සඳහා ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත ආරාධනා කරන ලදී.

ඉතා චාම් අයුරින් පැවති මෙම උත්සව අවස්ථාවේදී, මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගජබා රෙජිමේන්තුවේ 12 වන රෙජිමේන්තු අධිපති ලෙස නව ධුරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සුබ මොහොතින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබනු ලැබීය.

පසුව, මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයකට මෙන්ම දිවා භෝජන සංග්‍රහකයට ද යුද්ධ හමුදාධිපතිතුමන් එක්විය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සහ පවුලේ සාමාජිකයින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 26 යටතේ පුහුණුව ලද යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ජගත් කොඩිතුවත්කු, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් චන්න වීරසූරිය යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම එම සමකාලීන පාඨමාලාවේ විශ්‍රාමික හමුදා සාමාජිකයින් කිහිපදෙනෙක් හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා සමඟ ඔවුන්ගේ භාර්යාවන් මෙම අවස්ථාවට එක්වූ අතර තවත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් ද මෙම අවස්ථාවට එක්වූහ.