Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st December 2022 13:24:30 Hours

නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 61 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් චන්න වීරසූරිය අද (01) දින පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ පැවති ආගමික වතාවත් සහ සුබපැතුම් මධ්‍යයේ පැවති කෙටි උත්සවයකදී නව ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.

නව ධූරයේ රාජකාරි භාරගැනීම සඳහා කාර්යාල පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් චන්න වීරසූරිය ආගමික වතාවත් නිරත වීමෙන් අනතුරුව මහා සංඝරත්නය විසින් සිය ආශිර්වාද එක්කරමින් ‘සෙත් පිරිත්’ සජ්ඣායනා කරනු ලැබීය.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නව මාණ්ඩලික ප්‍රධානි සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරනු ලැබීය. අනතුරුව, මහා සංඝරත්නය විසින් මේජර් ජෙනරල් චන්න වීරසූරිය වෙත පිරිත් පැන් මෙන්ම පිරිත් නූලක් ද ලබා දුන්හ.

මේජර් ජෙනරල් චන්න වීරසූරිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති ධූරයේද කටයුතු කරනු ලබයි. මෙම ධූරය සඳහා පත්වීමට ප්‍රථම මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධූරයේ රාජකාරි කටයුතු හොබවනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ඇතුළු ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් සහ අධ්‍යක්‍ෂ මණ්ඩල අධ්‍යක්‍ෂකවරුන් පිරිසක් ද සහභාගී වූහ.

මේජර් ජෙනරල් චන්න වීරසූරිය පිළිබඳ කෙටි විස්තරයක් පහතින් දැක්වේ:

මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වර්ෂ 1968 ජුලි මස 15 දින කොළඹ ප්‍රදේශයේ උපත ලබා කොල්ලූපිටිය මහානාම විද්‍යාලයට ඇතුලත්ව එහි කීර්තිමත් ශිෂ්‍යයෙකු වශයෙන් සිප්සතර හදාරා ඇත. තම පාසල් අධ්‍යාපන කටයුතු අවසන් කිරිමෙන් පසු වර්ෂ 1986 ඔක්තෝබර් මස 27 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳී කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 26 සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව දෙවන ලූතිතන්වරයෙකු වශයෙන් අධිකාරියට පත්ව වර්ෂ 1987 ජුලි මස 23 දින 1 වන ශ‍්‍රි ලංකා පාබල හමුදාව වෙත ඇතුලත්ව තම රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී. මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ මේ වනවිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ වසර 36 කට අධික නිකැලැල් සේවා කාලයක් සම්පූර්ණ කර ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් තම යුද්ධ හමුදා දිවිය තුල විවිධ ශ්‍රේණිවල අණදීම් තනතුරු, මාණ්ඩලික නිලධාරි තනතුරු හා උපදේශක තනතුරු ඉතා දක්‍ෂ ලෙස හොබවා ඇති අතර, මානූෂීය මෙහෙයුම් කාලසීමාව තුළ ඉතා දරුණු ත්‍රස්තවාදි මෙහෙයුම් පැවැති කාලසීමාවේ 4 වන ශ‍්‍රි ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි වශයෙන් රාජකාරි සිදුකරන ලදී.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි මාණ්ඩලික ශ්‍රේණියේ තනතුරු වශයෙන් 23 වන පාබල සේනාංකයේ ප‍්‍රධාන මණ්ඩලික නිලධාරි 1 (සම්බන්ධිකරණ), 58 වන පාබල සේනාංකයේ කර්නල් ප‍්‍රධාන මණ්ඩලික නිලධාරි, ශ‍්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප‍්‍රධාන මාණ්ඩලික නිලධාරි, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි සහ යුද්ධ හමුදා මූලස්ථානයේ ආධුනිකයින් බඳවා ගැනිමේ අධ්‍යක්‍ෂ යන ප‍්‍රධාන තනතුරු හොබවා ඇත.

මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ 512, 523 සහ 663 වන බලසේනාවන්හී බලසේනාධිපති, ගුවන් සංග‍්‍රාමික බලසේනාවේ බලසේනාධිපති, ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පිහිටි 22 වන සේනාංකයේ සේනාංකාධිපති, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්චා බලසේනාවේ සේනාවිධායක යන ප‍්‍රධාන තනතුරු හොබවා ඇත. මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට පෙර එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධූරයේ රාජකාරි කටයුතු හෙබවූවේය.

මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යුද බිමෙහි දක්වන ලද රණකාමිත්වය ඇගයීම වස් රණවික‍්‍රම හා රණශුර පදක්කම් වලින්ද පිදුම් ලබා මවුබිමට ලැදි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස පැසසුමට ලක්වි ඇත.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි දේශිය හා විදේශිය පාඨමාලා/ වැඩමුළු හා දේශණ රාශියකට සහභාගි වි ඇති අතර, ඉන් ප‍්‍රධාන වශයෙන් තරුණ නිලධාරි පාඨමාලාව - පාකිස්තානය, මෝටාර් පාඨමාලාව - ඉන්දියාව, කණිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - බංගලාදේශය, එක්සත් ජාතින්ගේ මාණ්ඩලික නිලධාරි පාඨමාලාව - බංගලාදේශය සහ ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව යන පාඨමාලා සාර්ථකව හදාරා ඇත. තවද, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් මහජන කළමනාකරණය පිළිබඳ ශ‍්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි ශාස්ත‍්‍රපති උපාධිධාරියෙකි. ඇමෙරිකා එක්සත් ජනපදයෙහි ගැටුම් නිරාකරණය පිළිබඳ සම්මන්ත‍්‍රණය හා දකුණු සහ ඊසාන දිග ආසියාතික රටවල ආරක්‍ෂාව පිළිබඳ මොංගෝලියාවේ පැවති සම්මන්ත‍්‍රණය සඳහා සහභාගි වි ඇත. එමෙන්ම, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පාකිස්ථානයේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වශයෙන් තම යුද්ධ හමුදා ප‍්‍රගමනය ඔප මට්ටම් කරගත් කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ධනුෂා වීරසුරිය මැතිණිය සමග විවාහ වි ඇති අතර, එක් දියණියකගේ ආදරණිය පියෙකු ද වේ.